hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:02



යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. මේ දිනවල නම් යුරේනි කතා බහට ලක් වෙන්නේ ‘රීකන්ඩිෂන් කෙල්ල‘ නිසා.

යුරේනි ‘දිනූ‘ ලෙසින් රීකන්ඩිෂන් කෙල්ල තුළින් සති අන්තයේදී ස්වර්ණවාහිනියෙන් ප්‍රේක්ෂකයින් අතරට එනවා. අවුරුදු කිහිපයකට පස්සේ තමයි යුරේනිව පුංචි තිරයේ චරිතයකින් දකින්න ලැබෙන්නේ.

රීකන්ඩිෂන් කෙල්ලහි දිනූ ඔබ. මේ නිර්මාණය භාර ගන්න හිතුවේ ඇයි?

වෙනස් පිටපතක්. ඒ නිසාම හිතුවා මේ අභියෝගය භාර ගන්නවා කියලා. මට සාමාන්‍යයෙන් ගැමි චරිත ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අනුර ඒකනායක අධ්‍යක්ෂතුමාට මාව විශ්වාස කරලා මේ චරිතය භාර දුන්නට.

දිනූව ගොඩනඟන්න යුරේනි මොන වගේ කැප කිරීමක් ද කළේ?

අපි මේ නාට්‍යය රූගත කළේ තිස්සමහාරාම සහ යාල ප්‍රදේශයේ. මගේ තියෙන හමේ පැහැයට වඩා හතර ගුණයකින් විතර අඩු පැහැයක් දිනූට දුන්නේ. ඒ නිසා පාන්දර 4ට මේකප් එකට ගියාම පැය 4ක් විතර යනවා මේකප් එක කරන්න. මුළු ඇඟම කළු කරනවා. අධ්‍යක්ෂවරයාට ඕනේ වුණේ ස්වාභාවික ලෙසම මගේ කොණ්ඩය පවා තියන්න. ඒ විදිහට තමයි දිනූ කියන තිස්සමහාරාම ගමේ ගැහැනු ළමයාව ගොඩනැඟුවේ. මට මුලින්ම චරිතයට අවතීර්ණ වෙන්න ටිකක් අමාරු වුණා. මම රඟපෑවෙත් ගොඩ කාලෙකට පස්සේ නිසා. හැබැයි සෙට් එකේ හිටිය හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ චාන්දනී සෙනවිරත්න මහත්මිය. ඇය තමයි මගේ අම්මට හිටියේ. හැම වෙලාවේම අම්මා කෙනෙක් වගේම මගේ හෙවණැල්ල වගේ ඉඳගෙන මගේ දෙබස් උච්චාරණය හැදුවා. මම ඇය එක්ක පළමු වතාවට ස්ක්‍රීන් එක බෙදා ගත්තේ. ඒ ලැබුණු අවස්ථාව මගේ රංගන ජීවිතේට ලොකු ශක්තියක්. ඇය විතරක් නෙවෙයි ධර්මප්‍රිය ඩයස් වැනි හුඟ දෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබුණා. දිනූ චරිතය නිසා මම ගොඩක් ටෙක්නික් ඉගෙන ගත්තා. මුල් දවස් දෙක තුනේ මට නුහුරු වුණාට ඊට පස්සේ මම දිනූම තමයි.

යුරේනි කියන්නේ ස්වාධීනව ජීවත් වෙන චරිතයක් නේ. ගැහැනු ළමයෙක්ට එහෙම ජීවත් වෙන්න පුළුවන්ද?

මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් මයි කාර් මයි පෙට්‍රල් කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ. අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි. තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ. මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම. අනේ මට මේ දේ නැහැ අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි.

හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව

නැහැ. බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: