අප්‍රිකාවේ මාලි රාජ්‍යයෙහි අගනුවර වන බමාකෝ නගරයට තෙල් ගෙන එන මාර්ග අවහිර කිරීමට එරට ඉස්ලාමික අන්තවාදී කණ්ඩායම් සමත්ව තිබෙනවා.
මෙම කණ් ඩායම් අතර ප්‍රධාන වන්නේ ජමාත් නසර් අල්-ඉස්ලාම් ව’අල් මුස්ලිමීන් (JNIM) සංවිධානය යි. එය අල් කයිඩා සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත සංවිධානයක්. මීට අමතරව අයි.එස්.අයි.එස් සංවිධානය ද එම කලාපයේ ක්‍රියාත්මකයි.
බමාකෝ නගරයට බටහිරින් සහ දකුණින් තෙල් බවුසර් ගෙනෙනු ලබනවා. ඒ පිළිවෙලින් සෙනගාලයේ සහ කෝටේ ඩිවා (අයිවරි කෝස්ට්) රටේ සිටයි. නමුත් බමාකෝවට බටහිරින් කයෙස් පළාතේ ද බමාකෝවට දකුණින් ද එන මාර්ග මේ වනවිට ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ බමාකෝ අගනුවර ඉන්ධන හිඟයක්, ඉන්ධන මිල ඉහළ යෑමක් සහ විදුලි බල හිඟයක් මතුවී තිබෙනවා. මෙම තත්ත්වය එරට හමුදා පාලනයට දැඩි අභියෝගයක් ව තිබෙනවා.
මාලි රාජ්‍යය 2021 සිට පාලනය කරන්නේ ජෙනරල් අසිමි ගොයිටා විසින්. ඔහු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත වූ ප්‍රංශ හමුදා රටින් ඉවත් කළා. ඒ වෙනුවට ඔහු සහය ලබාගත්තේ රුසියාවේ වැග්නර් කණ්ඩායමෙන්. අද වනවිට එය අප්‍රිකා කෝර් (අප්‍රිකා බලකාය) ලෙස වෙනස් වී තිබෙනවා. වැග්නර් බලකාය මුලදී යම් සාර්ථකත්වයන් ලැබූව ද ඉස්ලාමීය තර්ජනය වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට මාලි රජය සහ වැග්නර් සටන්කාමීන් තත්ත්වය පාලනය කිරීමට අපහසු තත්ත්වයකට පත්ව සිටිනවා.
බමාකෝ අගනුවර නුදුරේදී ත්‍රස්තයන් අතට පත්වීමේ අවදානමක් නොමැති බවයි විචාරකයන්ගේ සාමාන්‍ය මතය වන්නේ. කෙසේ වෙතත් වර්තමානයේ පවතින තත්ත්වය රජයට එතරම් සුබදායක වන්නේ නැහැ.