hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 05, පෙ.ව. 10:11


රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

 අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අද (05) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල , කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.

මොහු අද (05) අලුයම 04.30 ට ඩුබායි සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබෙනවා.

එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදු වනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත් අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

රෑපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත  මෙසේ මොහු  අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් රැස්ව සිටින අතර ඔවුන් මෙම අත් අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයක් දැක්වීම සිදු කෙරුණා.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් 3713 ලක්මාල් මහතා විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.