hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 06, ප.ව. 3:48


මහනුවරදී දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර දින රාත්‍රියේ තම මව සමඟ පෙරහර නැරඹීමට පැමිණි අවුරුදු 08ක කුඩා පිරිමි දරුවෙක් පැහැරගෙන යනු ලැදැයි චෝදනා ලද පුද්ගලයෙකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබෙනවා.             

මෙම පුද්ගලයා මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර මොහු දරුවා සමග දුම්රියෙන්  අවිස්සාවේල්ල බලා යමින් සිටියදී ඔහුගේ සැක සහිත හැසිරීම මත දුම්රිය මගීන් සැකකරු අල්ලා මහරගම පොලිසියට බාර දී තිබෙනවා.

ඉන් අනතුරුව අද (06) සැකකරු සහ දරුවා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආ අතර පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ තමා මෙම  දරුවාගේ මිත්තණිය දන්නා හඳුනන බවත් දරුවාට සෙල්ලම් බඩු රැගෙන දීම සඳහා ඔහු රැගෙන ගිය බවයි.

දරුවාගේ මිත්තණිය සහ මව කියා සිටියේ එම පුද්ගලයා කිසි දිනක දැක නොමැති බවයි.

මහනුවර පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මීට පෙරද කුඩා දරුවකු පැහැරගෙන යාමට උත්සාහයක් දරා ඇති පුද්ගලයකු බවයි.

සැකකරු මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහනුවර මූලස්ථාන පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දරුවා මහනුවර ජාතික රෝහල වෙත යොමු කොට තිබෙනවා.

මහනුවර – කමල් සුරවීර