hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 27, පෙ.ව. 10:08


ඩයනාගේ නඩුවෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති

හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් ඊයේ ඉවත් වූහ.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම ඊයේ කැඳවිණි.

ඉන් කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරු දෙදෙනා පෙත්සම විමසා බැලීමේ කටයුතුවලින් ඉවත් වූහ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 5 කැඳවීමට නියම කෙරුණි.

වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ යන අයට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ඉකුත් 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවත් ඉන් පසුව ඉකුත් 09 වැනිදා ඇය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිටියේය.