hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 31, පෙ.ව. 11:25


ගංගා 4ක් ආශ්‍රිතව ගංවතුර අවධානමක්

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් ද මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවා.

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් හා නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාර මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. 

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රියේ සහ අද දින උදෑසන සිටම ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම කරා ළඟා වෙමින් වාර්තා වෙනවා.

මේ වන විට එනම් , රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 04.98 ක් වෙනවා.

මේ වන විටත් සිරිපා අඩවිය, පලාබද්දල, රත්ගඟ, මාපලාන, එරත්න, ඉඳුරුව යන ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතිනවා.

මේ තත්ත්වය තුළ කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම් තව තවත් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන්   කුකුලේ ගඟ  ජලාශයේ වාන් දොරටු දෙකක් අද  උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් රැසකට ඇද හැළෙන තද වර්ෂාව නිසා තවලම සහ නෙළුව ප්‍රදේශයට ගංවතුර අවදානමක් පවතින නිසා යුද හමුදාව ඇතුළු සහනය කණ්ඩායම් යෙද වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.