hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 27, ප.ව. 1:48


ජොන්ස්ටන්ට එරෙහි නඩුවට අධිකරණය දුන් නියෝගය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.