hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 05, පෙ.ව. 11:11


වැඩ බාරගන්න පිටත් වූ සභාපතිට වෙඩි ප්‍රහාරයක්

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන 7.35ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු 62 හැවිරිදි පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලීසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළා.

රෝහල් ගත කළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුුුවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 

මීගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.