hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 20, ප.ව. 3:18


රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

රඹුක්කන ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙකු ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත්කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම කණ්ඩායම පොලිස්පතිවරයා විසින් පත්කර තිබෙනවා.

එම සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් පොලිස්පතිවරයාගේ අනුමැතිය මත අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා ද පත්කර තිබෙනවා.

රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියා.

මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්.

එමෙන්ම රඹුක්කන සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද සිටින බව සඳහන් වෙනවා.

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද  කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කරනවා.