hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:22


පස් කන්දක් කඩා වැටී මාර්ගයක් සම්පුර්ණයෙන් අවහිර වෙයි

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාම ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ සිට පුඩළුඔය සහ කොත්මලේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (25) සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තලවකැලේ පුඩළුඔය කොත්මලේ ප්‍රධාන මාර්ගයේ ඉහල කොත්මලේ ජලාශයට ඉහලින් හොලිරුඩ් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඊයේ (25) දින පස්වරු 5.30 ට පමණ පස් කන්ද කඩා වැටුණු බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයට යාබදවම පිහිටි ඉහල කොත්මලේ ජලාශයට ඉහලින් පිහිටි නිවසක් මතටද පසුගිය දා පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදු වි තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම නිසා තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් දුම්රිය මාර්ගය දිගේ තලවකැලේ නගරයට පිවිසිමට සිදු වි තිබෙනවා.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම සදහා නුවරඑලිය සහ නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය වෙත දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය පැවසුවා.

විකල්ප මාර්ග වශයෙන් තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගය හරහා ගොස් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලට පිවිස රථ වාහන ධාවනය කල හැකි බව තලවකැලේ පොලිසිය පැවසුවා.