hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 28, ප.ව. 5:41



මෙරට ජනතාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි නිරන්තරයෙන් උනන්දු වෙමින් සුවිසල් මෙහෙයක් සිදු කරන Asian Paints Causeway සමාගම විසින් සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් තීන්ත ආලේප කරන ලදි. එම කර්තව්‍යයෙන් පසුව සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපන කාර්යයේදී වඩාත් ප්‍රිය උපදවන, සිසුන්ට වඩාත් ආකර්ෂණීය පාසලක් බවට පරිවර්තනය විය.

ආනමඩුව, සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලය අවට ගම්මාන 10ක ළමයින් සඳහා ආදරණීය තක්සලාවක් වී ඇති අතර එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් බහුතරය අවවරප්‍රසාදිත දරුවෝ වෙති. එසේ වුව ද කැපවීමෙන් සිය වෘත්තියේ නියැලෙන ගුරුවරුන් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසල එහි දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට මං විවර කරනු ලබන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි.

සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ සිය වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් පාසලේ නාම පුවරුවක් නොතිබූ අතර එම අඩුව පුරවාලීමට ද Asian Paints Causeway සමාගම මෙහිදී කටයුතු කළේය. එමෙන්ම වසර සියයක කාල සීමාව තුළ මේ ආකාරයෙන් සමස්ත පාසලම ආවරණය වන පරිදි තීන්ත ආලේප කර වර්ණ ගැන්වූ පළමු අවස්ථාව ද මෙය විය. සියවස් සැමරුමට ආසන්න කාල සීමාවේදී මෙම සියලු කටුයුතු සිදු කිරීමට හැකි වීම සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයට මෙන්ම Asian Paints Causeway සමාගමට ද විශාල ආස්වාදයක් විය.

“අපේ පාසල ප්‍රසන්න සහ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් Asian Paints Causeway සමාගමට අපි අපේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. අපේ සිසුන්ගෙන් බහුතරයක් අවවරප්‍රසාදිත පවුල්වල ළමයින් නිසා ඔවුන්ට ජීවිතය ජයගන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය විතරයි. ඒක නිසා මේ පන්ති කාමර වර්ණ ගන්වලා, ඒවා නිදහස සහ ප්‍රබෝධය සහිත ස්ථාන බවට පත් කිරීමෙන් සිද්ධ වුණේ එසේ මෙසේ සමාජ සේවාවක් නෙවෙයි. මහා වෙනසකට මුල් පියවර තැබීමක් තමයි මේ කාර්යය හරහා මේ විදියට සිද්ධ වුණේ.” යැයි සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. ටී. බී. රත්නායක මහතා ප්‍රශංසනාත්මකව ප්‍රකාශ කළේය.

සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති මෙම සමාජ සත්කාරක වැඩසටහන Asian Paints Causeway සමාගම විසින් සිදු කරනු ලබන ‘පැහැබර දිවි’ ව්‍යාපෘතියේ එක් පියවරක් වන අතර තවත් පියවර ගණනාවක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කරගෙන යාමට සැලසුම් කර ඇත.

“මේ දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් වීම අපට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ප්‍රීතියක්. සමාජයට ගුණාත්මක බලපෑමක් කිරීමට අප සතු වන උනන්දුව සහ කැපවීම මෙම ව්‍යාපෘතියෙන් අපි නැවත වරක් විදහා දක්වනවා. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තවත් වර්ණවත් කරන්නට, අලංකාර කරන්නට අපේ සහයෝගය ඉදිරියටත් ලබා දෙමින් ‘පැහැබර දිවි’ ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ‘ඔබේ විශ්වාසවන්තම තීන්ත සහකරු’ වශයෙන් ඔබේ ජීවිත වර්ණවත් කිරීමටත් සතුටින් පිරවීමටත් හැකි වීම ගැන අපි අවංකවම සතුටු වෙනවා.” යැයි Asian Paints Causeway සමාගමේ ප්‍රධාන අලෙවි කළමනාකරු අනුරාධ එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් මෙම සද්කර්තව්‍යය පිළිබඳව දැක්වූ  අදහස් සහිත වීඩියෝ පටයක් මේ වන විට ඩිජිටල් අවකාශයට මුදා හැර ඇති අතර Asian Paints Causeway සමාගමට අයත් නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට එය නැරඹීමේ අවස්ථාව ඇත.