2023 මැයි 23, ප.ව. 8:40
‘අස්වැසුම’ සමාජ ශුභසාධක ප්රතිලාභ ගෙවීම මෙන් ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන ශුභසාධක මූල්‍යාධාර ජූලි මස සිට ඍජුව ම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ශුභසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යාමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
එසේ ම, බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා පෙන්වා දුන්නා.
ඔහු මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරනු ලබන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින්.
පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ වැඩසටහන මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවා තිබෙනවා.
‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40%ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මූල්‍ය අධාර ලබා දීමට නියමිත අතර අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000ක් රජය මගින් ලබා දෙනවා.
‘101 කතා’ වැඩසටහනේදී යොමු කළ ප්‍රශ්නයකට සුබසාධක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරා ගැනීම මධ්‍යම දත්ත පද්ධතියක් මගින් සිදුවන නිසා දේශපාලන හිතවත්කම් මත ආධාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් ඇතුළත් කළ නොහැකි බවයි.
‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ ක්‍රමය ජූලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්රතිලාභ අහිමි විමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, ‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ සදහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බවත් ඔහු පැවසුවා.
එවන් අයෙකු සිටි නම් ප්රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කළ විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරිමට හෝ ජූලි මාසයෙන් පසුව දෙවන අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව ත් පෙන්වා දුන් ශුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.
“ජීවත්වීම සදහා මූල්‍ය අධාර අවශ්‍ය ඇතමුන් මේ වන විටත් ක්‍රියාත්මක ශුභසාධක ප්රතිලාභ ගෙවීම් වැඩසටහන්වලට ඇතුළත්ව නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා. දැනට සමෘද්ධි වැනි ප්රතිලාභ ලබන අය අතර දේශපාලන බලපෑම් මත ඇතුලත් කළ පිරිස් සිටින බවටත් චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට විසඳුම් ලබා දෙමින් සමාජය විසින් රැක බලා ගත යුතු අයට අධාර ලබා දිමේ අරමුණින් තමයි මේ ‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත ආරම්භ කළේ. මේ සදහා ශුභසාධක ප්රතිලාභ මණ්ඩලය ගිය අගෝස්තු මස සිට අයැදුම්පත් කැඳවූවා. එහිදී ලක්ෂ 37කට වැඩි පිරිසක් අයැදුම්පත් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වලට ම ගොස් අස්වැසුම මොබයිල් ඇප් එක ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අදායම් – වියදම් ගැන දත්ත ලබා ගෙන තිබෙනවා.
මේ අනුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත් කළ විශේෂ කමිටුවක් තුළින් තවදුරටත් සත්‍යාපනය කරනවා. අනතුරුව ‘අස්වැසුම’ ශුභසාධක ප්රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයකම වගේ ම සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ (https://www.wbb.gov.lk/ ) ප්‍රදර්ශනය කරනවා. එහිදී අයැදුම් කළ කෙනෙකුගේ නම නොමැති නම් හෝ ආධාර ලැබීමට නුසුදුසු අයෙකු සිටිනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්රතිලාභ ලැබිය යුතු කිසිවෙකු අත්නොහැරෙන ආකාරයට තමයි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එය තමයි මෙහි විශේෂත්වය. ඒ වගේ ම පළමු වතාවේ අයැදුම්පත් ඉදිරිපත් කරන්න නොහැකි වුණා නම් ජූලි මාසයෙන් පසුව දෙවන අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඒ බව අපි පුවත්පත් හා මාධ්‍ය මගින් දැනුම්වත් කරනවා.”