hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 20, පෙ.ව. 9:21



ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ.

එනම් රු. ට්‍රිලියන 23.31 කි.

එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩි වී තිබීමයි.

2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් වාර්තා වූ මෙම අගය 2022 ජනවාරි මාසයේ දී රු. බිලියන 17,873.0 ක් දක්වා සහ 2022 පෙබරවාරි මාසයේ දී රු. බිලියන 17,940.2 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගියද 2022 මාර්තු මාසය අවසානයේ දී එය රු. බිලියන 21,696.6 ක් දක්වා දැවැන්ත ප්‍රමාණයකින් වැඩි වී තිබුණි.

ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟම විදේශ මුදලින් නාමකරණය වී තිබුණු ණය ප්‍රමාණයන් හි රුපියල් වටිනාකම ඉහළ යාම මෙලෙස මාර්තු මාසය තුළ දී රු. බිලියන 3,756.4 ක් තරම් විශාල අගයයකින් සමස්ත ණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම කරුණත් සමඟම අනෙක් ප්‍රධාන කාරණය නම් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද සීඝ්‍ර වැඩිවීමකට ලක්ව තිබීමයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 කි.

ඊට අනුව ගණනය කිරීමේ දී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 කි. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ දහයක ණයක් දරන්නෙකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: