hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 මැයි 22, ප.ව. 8:48



සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීමට හේතු වූයේ මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය මත ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බව හයිඩ්‍රාමනී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරන බවත් එම සමාගම පවසා සිටියා.

මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

තම සමාගම් සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට කැපවී සිටින බවත් හයිඩ්‍රාමනී සමූහය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.