hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 ජූනි 07, පෙ.ව. 10:00



පොලී අනුපාත පහත හෙළීමට මහ බැංකුව ගත් තීරණයත් සමඟ වාණිජ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනවල වැඩි කළ පොලී අනුපාතද පහත හෙළීමට වහා කටයුතු කරන ලෙස ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පැවසුවා.

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පසුගිය 31 වැනිදා තම ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළ දැමුවේ ඊට සමගාමීව වාණිජ බැංකු ණය පොලී අනුපාත පහළ දමනු ඇතැයි අපේක්ෂාවෙන් වූ නමුත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම සඳහන් කළා.

ණය ලබා ගැනීමේදී පොලී අනුපාත සියයට 9-10කට පැවැති නමුත් පසුගිය සමයේ එය සියයට 34ක් වැනි විශාල ප්‍රමාණයකින් ඉහළ දමන්නට කටයුතු කර ඇතැයි ඔහු සඳහන් කළා.

වාණිජ බැංකු පොලී අනුපාත අඩුකරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරන බව පවසන නමුත් සිදු විය යුත්තේ ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීම බවද ඔහු පැවැසුවා.

මහ බැංකුව පොලී අනුපාත වැඩි කිරීමට පමණක් චක්‍රලේඛ නිකුත් කරන බවත් අඩු කිරීමට තිබෙන අවස්ථාවක එවැනි චක්‍රලේඛයක් හෝ මාර්ගෝපදේශයක් නිකුත් නොකරන බවටත් ඔහු චෝදනා කළා.

සියලුම වාණිජ බැංකු හා බැංකු නොවන මූල්‍ය සමාගම්වලත් මෙම පොලී අනුපාත අඩුවිය යුතු බවත් ජනතාවට පැහැදිලි සහනයක් ලැබෙන්නට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවා.

කෙසේ වෙතත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දැමීමත් සමඟ පෞද්ගලික බැංකු සිය ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය සැලකිය යුතු මට්ටමකට අඩුකර තිබෙන නමුත් ඇතැම් වාණිජ බැංකුවල නිවාස ණය සඳහා අය කරන පොලී අනුපාත 32%ක් තරම් වූ ඉහළ අගයක ගෙන තිබෙනවා.