hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 08, පෙ.ව. 5:30



ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවා ගැනීමට 2023 මාර්තු 27 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී තිබෙනවා.

කාලීන රැකියා , කාලීන නොවන රැකියා හා ස්වයං රැකියා යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි වෙනවා.

මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82,702ක්, ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී තිබෙනවා.

ඉන් රැකියා අවස්ථා 38,705ක් හිමිවන්නේ ස්වයං රැකියා හා කාලීන නොවන රැකියා අවස්ථා සඳහා වෙනවා. 

ඉතිරි රැකියා අවස්ථාවන් 44,000 කාලීන රැකියා යටතේ හිමි වෙනවා.

2023 මාර්තු මස 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023 යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකියි.  

මේ පිළිබඳ වැඩි විස්තර, ඉතාලි රජයේ පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකියි.

http://www.gazzettaufficiale.it/eli/id/2023/01/26/23A00232/sg

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.