hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 05, ප.ව. 4:46



ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි.

මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය.

ළගම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.

මීට අමතරව මහජන බැංකුව සිය සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ සනිපාරක්ෂක පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූල්‍ය දායකත්වයක් පිරිනැමීමටද කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවන්ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ඒ.නිහාල් යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වුහ.

මීට අමතරව නිදහසේ උපත වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.