hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 10:24



මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පුද්ගලයන්ගේ උපයන විට බදු අය වන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊට අදාළව නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

ඒ අනුව නිවාස, වාහන, ඉන්ධන, ගෘහභාණ්ඩ, දුරකතන සහ සහනදායි පොලී සඳහා සංශෝධන එක් කර තිබෙනවා.

දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් උපයන පුඅද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර තිබෙනවා.

වාහන – එංජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියැදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් ලෙස වෙනස් කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබෙනවා.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරි සඳහා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේදී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියැදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර තිබෙනවා.

100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මඟින් සලකනු ලබයි. සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි.

ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මේ වෙනස් කිරීම් මඟින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.