hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 8:38



විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මත ගුවන්තොටුපොළේදී ලබාගත හැකි තීරුබදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 01 සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

වසරක කාලයක් තුළ ඩොලර් 2400ට වැඩියෙන් මුදල් එවා ඇති විදේශගත ශ්‍රමිකයන්ට කාණ්ඩ පහක් යටතේ මෙම අතිරේක තීරුබදු සහනය ලබාදීමට නියමිතයි.

ඒ අනුව ඩොලර් 2,400ත්, 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 600කද, ඩොලර් 4,800ත් ඩොලර් 7,199ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 960කද අතිරේක තීරුබදු සහනයක් ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව ඩොලර් 7,200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 1,440කද, ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 2,400කද, ඩොලර් 24,000 හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 4,800ක අතිරේක තීරුබදු සහනයක් ලබාගැනීමේ හැකියාව තිබෙන බවද ඒ මහතා කියා සිටියා.

වසරක කාලයක් තුළ අදාළ මුදල් රටට එවා ඇති ඕනෑම අයකුට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බව පැවැසූ ඇමැතිවරයා, 2022 මැයි පළමුවැනිදා සිට නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයන්ට මෙම සහනය ලබාගැනීමේ හැකියාව පවතින බව ප්‍රකාශ කළා.

මෙම තීරුබදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසුවා.

අපේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණු අවස්ථාවේ දී විදේශගත ශ්‍රමිකයින් එවනු ලැබූ විදේශ ප්‍රේෂණ අඩු වෙලා පසුගිය මැයි මාසය වන විට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන දෙසීය ගණනකට පහළ වැටිලා තිබුණා. ඒ වෙලාවේ හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට තමයි රටට මුදල් එව්වේ. ඒ වෙලාවේ විදේශගත ශ්‍රමිකයින්ට සැලකීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා. ලංකාවට සල්ලි එවන්න එපා කියලා විශාල දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමන්ගේ සල්ලි හොරකම් කරාවි කියන අවිශ්වාසය ඇති වෙලා තිබුණා. මේවා විසඳීමට අපි විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබුවා. විදේශගත ශ්‍රමිකයින් නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා අපි රජයක් විදියට වැඩ කරන්න පටන් ගත්තා.

විදේශගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට, නිවාස ණය ලබා ගැනීමට, වැඩි තීරු බදු සහන විදේශගත ශ්‍රමිකයින්ට ලබා දීම සඳහා වන කැබිනට් අනුමැතිය අපි ලබා ගත්තා. දැන් රටට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවසරය තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ට පමණමයි. මේ නිසාම ඩොලර් මිලියන හතක මුදලක් රටට ලැබිලා තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා ලබා දුන් කාලසීමාව දීර්ඝ කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා” යැයි ද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.