hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ජූලි 20, පෙ.ව. 12:07



එළඹෙන වසර වන විට ගොවි ජනතාවට ජල බද්දක් පැනවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පිඹුරුපත් සකසමින් සිටින්නේ යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවා.

වී වගාව ඇතුළු අතුරු බෝග වගා කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශවලින් නිකුත් කෙරෙන ජලය සඳහා මේ අයුරින් බද්දක් පැනවීමට ඇමතිවරයා සූදානම් වන බවට ඔහු චෝදනා කළා.

වාරිමාර්ගවලින් නිකුත් කෙරෙන ජලයෙන් ගොවිතැන් කරන ගොවීන් නිසි කලට වගා නොකිරීමෙන් ජලය නාස්ති වන බවට පවසමින් මේ බද්ද අයකර ගැනීමට සූදානම් වන බව ද හෙතෙම සඳහන් කළා.

නියමිත කාලයේදී වගා කටයුතු ආරම්භ නොකරන ගොවීන්ට සහන ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා අනියම් අයුරින් තර්ජනය කරමින් සිටින බවට අනුරාධ තෙන්නකෝන් චෝදනා කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සුළු හා මහා පරිමාණ වාරි ජලාශවලින් ජලය නිකුත් කරනුයේ ගොවි ජනතාව නොවන බවත් එහි වගකීම ඇත්තේ වාරි ඉන්ජිනේරුවන් සහ ජල පාලකයන් සතුව බව ත් ඔහු පැවසුවා.

ඇතැම් කන්නවල කුඹුරු ඉඩම්වල ගොයම් කැපෙන කාලයේදීත් වාරි ජලාශවලින් ජලය නිකුත් කෙරෙන බව ද ඒ සඳහා වගකිවයුත්තේ වාරි ඉන්ජිනේරුවන් සහ ජල පාලකයන් මිස ගොවි ජනතාව නොවන බවද හෙතෙම අවධාරණය කළා.

මෙරටට මූල්‍යාධාර ලබා දෙන විදේශීය රටවල් සහ සංවිධානවල න්‍යායපත්‍ර අනුව මේ වන විට සෑම ක්ෂේත්‍රයකට ම පාහේ විවිධ බදු පැනවීමට සැලසුම් කරමින් සිටින නිසා එය කෘෂි ක්ෂේත්‍රයට ද අදාළ කිරීමට ඇමැතිවරයා උත්සාහ ගනිමින් සිටින බව ද ඔහු කියා සිටියා.