2023 අගෝස්තු 30, පෙ.ව. 4:05
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ ගැඹුරින් සැලකිල්ල යොමුකරන ලෙස සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරමින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙමින් පවතින බවත් මෙවැනි භයානක තත්ත්වයක් ඉදිරියේ දේශපාලන නාටක පසෙකලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන ලෙස කතෝලික සම්මේලනය බලධාරීන්ගේ ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
“පූර්ණ සැසිවාරයට එක්රැස් වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ එමගින් පොදු මහජනතාවගේ දෛනික ජීවිතයට ඇති බලපෑම පිළිබඳ ස්වකීය ගැඹුරු සැලකිල්ල යොමු කිරීමට අපේක්ෂා කරන්නේ ය. ඒ, දිනෙන් දින ඉහළ යන, දරාගත නොහැකි ජීවන වියදම ජනතාවට දැඩි ලෙස බලපා ඇති බැවිනි.
ඒ හේතුව නිසා, බොහෝ දෙමාපියන්ට, තම දරුවන් හට දිනපතා ආහාර ලබා දීම දුෂ්කර වී තිබේ. දුෂ්කරතාවයට මුහුණ දී ඇති බොහෝ පවුල් දිනකට එක වේලකින් සෑහීමට පත්වෙති. ජනතාවගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමට බොහෝ රෝහල් අසමත්ව ඇති අතර, දැඩි ඖෂධ හිඟයක් ද පවතියි. රට හැර ගොස් සිටින සහ හැර යමින් සිටින සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි වීම සහ බොහෝ විට රජයේ රෝහල්වලට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි නො සැපයීම හේතුවෙන් ස්වකීය සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි බොහෝ පුද්ගලයින්, විශේෂයෙන්ම දුප්පත් ජනතාව පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු.
අධ්‍යාපනය ද අනතුරට ලක්ව ඇති බව පෙනී යයි. දරුවන් පාසලට පැමිණෙන්නේ, නිසි පෝෂණය, නිසි ඇඳුම් පැළඳුම් සහ ඔවුනට අවශ්‍ය පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය නොමැතිව ය. දෙමාපියන් සිටින්නේ, තම දූ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුකරලීමට නොහැකි තත්ත්වයක ය.
නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳවැටී තිබේ. රට පුරා සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැඩිවෙමින් පවතියි. දිනපතාම පාහේ මිනීමැරුම් සිදුවන අතර බීමතින් සහ අපරික්ෂාකාරිව රිය පැදවීම හේතුවෙන් මහමග සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ද වැඩි වී ඇත.
ඊට අමතරව ජනතාවගේ කඩිනම් මූලික අවශ්‍යතා පිරිමැසීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවක් නොපෙනේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් නැත. බොහෝ ජනතාව සිටින්නේ සාගින්න අද්දරය. කඩිනම් අවශ්‍යතාවය විය යුත්තේ ජනතාව ජීවත් කරවීම සඳහා කෘෂි කර්මාන්තය සහ අනෙකුත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමය. දේශීය ගොවි ජනතාවට දිරි දීමනා ලබා දෙන්නේ නම්, මේ රටේ නිෂ්පාදනය කළ හැකි සහල්, බිත්තර සහ පොල්තෙල් ආදි බොහෝ ආහාර ද්‍රව්‍ය මේ වන විටත් පිටරටින් ආනයනය කෙරෙන බව අසන්නට ලැබීම කම්පනය දනවන සුළුය. වෙළඳපළ මිල පාලනයක් නොමැති බව පෙනී යයි.
මෙම භයානක තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අප, බලධාරින්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, තම කටමැත දෙඩවීම් සහ දේශපාලන නාටක පසෙක ලා, ජනතාව මුහුණ දී සිටින දුඃඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලන ලෙසයි. එවිට දුප්පත් සහ පීඩිත ජනතාවට, අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් පිරිමසා ගනිමින් තම ජීවිත පවත්වාගෙන යාමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව ආශිර්වාද ලත් දේශයක් වන අතර, එහි පුරවැසියන් සහ තරුණ තරුණියන්, උගත් සහ රටේ ප්රගතියේ කොටස්කරුවන් වීමට උනන්දුවෙන් පසුවන්නෝ වෙති. එහෙයින් සෑම අයකුගේම ගරුත්වය අගැයීමට ලක්වන සහ එයට වටිනාකමක් ලබා දෙන, සාමය, සමගිය හා අධිකරණයේ ස්වාධීනත්වය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම මගින් දේශපාලනික ජීවිතයට ජනතාවගේ සහභාගිත්වය සුරක්ෂිත කිරීම වැනි ප්රජාතන්ත්රවාදය සැබැවින්ම ප්‍රකාශ වන සමාජයක් අපි නිර්මාණය කළ යුතු වෙමු. එවැනි දේශපාලනික හා සමාජයීය පුනර්ජීවනයක ද, අප සමාජයේ සියලු කොටස්වල අභිමානය සහ අයිතිවාසිකම් සුරැකීමේ ද මෙවලම් බවට පත්වන ලෙස අපි අපගේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිමු.
අප සමාජයේ මෙවැනි සමාජ පරිවර්තනයන් වෙනුවෙන් යාච්ක්ඤා කරන ලෙසත්, ක්‍රියාශීලිව කටයුතු කරන ලෙසත් අපි සියලු කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.
අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි,
කුරුණෑගල රදගුරු හිමි,
සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය.
අතිඋතුම් ජේ. ඩි. ඇන්තනී ජයකොඩි හිමි,
අගරදගුරු පදවි සහයක රදගුරු හිමි,
මහා ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය
2023 අගෝස්තු 28 වැනිදා”
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56