hit counter

2025 ජූනි මස 22 වන ඉරිදා

2025 ජූනි 22, ප.ව. 5:10



ඊයේ (21) බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් විය.

එම අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගියේ ය.

ඔවුන් අවුරුදු 65, 42 සහ 14 වයස් වල පසුවන්නන් වේ.

මේ සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ කියා සිටියේ තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම, රජය විසින් ඉටු කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීමට පැමිණීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, එම පිරිස අනුරාධපුර, තඹුත්තේගම සහ පහළගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම අනතුර සිදු වූ ස්ථානයේ නිරීක්‍ෂණයට බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස්.එස්.හෙන්නායක මහතාද අද එක් වුණා.

මෙම මාර්ගයේ අනතුරු සහිත ස්ථාන පිළිබඳව සොයා බලා මීට වසරකට පමණ ඉහතදී ආරක්ෂිත පස් කදු නිර්මාණය කළ බවත් එම ආරක්ෂිත වැටිය නොතිබෙන්නට මෙම බස් අනතුර විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබූ බවයි හෙන්නායක මහතා සඳහන් කළේ.

“මගේ කොට්ඨාශය තමයි මේ අනතුර සිද්ධ වෙච්ච මාර්ගයය තියෙන්නේ.මේ මාර්ගයේ තියෙන දැඩි පල්ලම් සහගත ස්වභාවය නිසා අපි කාලයක් තිස්සේ පොලිසියත් සමඟ එකතු වෙලා සාමාන්‍ය සයින් පුවරු හැම එකකටම ටයින් ස්ලෝ කියලා පැනල් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඊට අමතරව දිගින් දිගටම බෝඩ් දහයක් පමණ පරිබාහිරව දැනුවත් කිරීම් ගහලා තියෙනවා. ඊට අමතරව අපි මේ කොට්ඨාශය පුරාවටම ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට අපිට තියෙන අවම සම්පත් පාවිච්චි කරලා ආරක්ෂිත පස් ගැටි ක්‍රියාත්මක කරලා තියෙනවා. මුළු බදුල්ල දිස්ත්‍රික්කේම කඳු පල්ලම් හැම ස්ථානයකම පුළුවන් හැම ස්ථානයකම. එතකොට මෙම අනතුර සිදුවෙන්න මීටර් 134කට කලින් අපි ආරක්ෂිත පස් ගැටියක් මෙම ස්ථානයේ ගහලා තියෙනවා. බස් එක බ්‍රේක් නැතුව ඇවිල්ලා පළවෙනියට වැදිලා තියෙන්නේ මේ ආරක්ෂිත පස් ගැට්ටේ. මේ පස් ගැට්ටෙ වැදිලා නැවත වතාවක් මාර්ගයට බස් එක ඇවිල්ලා පහළට ගිහිල්ලා ලයිට් කණුවේ පැදිලා අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මේ පස් ගැට්ට නොතිබෙන්නට මහා විශාල ඛේදවාචකයක් වෙලා තමයි මේ අනතුර නිමා වෙන්නේ. ඇත්තටම මාර්ග සංවර්ධන අධිකාරිය විදියට අපි බොහොම ආඩම්බර වෙනවා මේ මට්ටමෙන් මේ අනතුර වළක්වා ගැනීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන්.”