hit counter

2025 ජනවාරි මස 31 වන සිකුරාදා

2025 පෙබරවාරි 01, පෙ.ව. 12:09



රටේ විවිධ සිද්ධීන්ට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී  නිසි ක්‍රමවේදයකට අනුව අත්අඩංගුවට ගත යුතු බවත් නැතිනම් ආණ්ඩුව සංදර්ශන පෙන්වීමට යාමෙන් සිදුවන්නේ පරණ ප්‍රතිඵලයම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසනවා.

මාධ්‍යට ඊයේ (31) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉතිහාසයේ සිදු වූ වැරැදිවලින් අලුත් ආණ්ඩුව මෙවැනි දෑ ඉගෙනගත යුතු බවත් අවසානයේදී  අත්අඩංගුවට ලක් වූවන් තාක්ෂණික හේතූන් මත නිදහස් වී යන බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් දේශපාලඥයින්  මෙහෙයවීමට ගියහොත් ගැටලු ඇතිවන බවත් සත්‍ය අපරාධකයෙක් වුණත් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේදී නඩුවලින් එම සැකකරුවන් නිදහස් වන බවයි මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසන්නේ.

මීට අමතරව වත්මන් ආණ්ඩුව පොලීසියේ ආරක්ෂාවක් නොලැබීය යුතු අයට පවා ආරක්ෂාව ලබා දී ඇති බවත් ඔහු එහිදී කියා සිටියා.

විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම හරහා ආරක්ෂාව ලබාගෙන තිබෙන බවට පවසමින් ඔහු පෙන්වාදෙන්නේ,  අවශ්‍ය පුද්ගලයින්ට පමණක් ආරක්ෂාව ලබාදීම ප්‍රමාණවත් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා :

“දේශපාලඥයෝ මේ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවන්න ගියාම අපි දැක්කනේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා කලින් දවසේ රාත්‍රියේ කතා කරලා වැඩේ කලේ කියලා,අන්න එතකොට ප්‍රශ්න මතුවෙනවා. සත්‍ය අපරාධකයෙක් වුණත් අනීතික ලෙස අත්අඩංගුවට ගන්න ගියාම නඩුවලින් ඒ අය නිදහස් වෙනවා. ඒ නිසා මේ අත්අඩංගු ගැනීම් වලට ලක්වන පුද්ගලයෝ නිර්දෝෂි කියලා අපි හිතන්නෙ නැහැ. ඔවුන් මේ රට විනාශ කරන්න, මේ රටේ දූෂණයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෝ ඔවුන්ගේ ආධාරකාරයෝ ඔවුන්ගේ අන්තේවාසිකයෝ, දරුවෝ පවුල්වල සාමාජිකයෝ ඒ අපරාධවලට සම්බන්ධ වෙච්ච මිනිස්සු බව අපිටත් පේනවා. එතකොට ඒවට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ව නිසි ක්‍රමයට නිසි ලෙසට නිසි උපදෙස්  මත අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනු කරලා නඩු විභාග කටයුතු කරන්න ඕනේ. මේවා සංදර්ශනය දාන්න ගියාම ආපහු වෙන්නෙ පරණ ප්‍රතිඵලයම තමයි. ඉතිහාසයේ වෙච්ච වැරැදිවලින් අලුත් ආණ්ඩුව මේවා ඉගෙනගත යුතුයි. අන්තිමට මේ අය තාක්ෂණික හේතු මත නිදහස් වෙලා එළියට ගියාම කියන්නේ, කෝ අපි ඇල්ලුවද අපි හොරකම් කලේ නෑ.. පේනවනෙ අධිකරනය අපිව නිදහස් කලා කියලා.

අනවශ්‍ය ලෙස ආරක්ෂාව දිය යුතු නැහැ. අද මේ රටේ පොලීසි‍ය මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට විතරක් නෙවෙයි, කිසිම පොලීසියේ ආරක්ෂාවක් නොලැබීය යුතු අයට ආරක්ෂාව දීලා තියෙනවා. මන් කැමති නෑ නම් ලැයිස්තුගත කරලා කියන්න, විවිධ ආගමික නායකයින්ව, විවිධ ව්‍යාපාරකයින්ට  අද පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා.  එතකොට මන්‍ත්‍රීවරුන්ගෙනුත් ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙන අයට ආරක්ෂාව දිය යුතුයි.   මට එහෙම ගැටලුවක් නැහැ මට ආරක්ෂාව අවශ්‍ය නැහැ. හැබැයි ගැටලුවක් තියෙනවනම් ඒ අයට දෙන්න ඕනේ. ඒක අවශ්‍යයයි.  එතකොට ඒ ආරක්ෂාව සහ ලබාදීම පිළිබඳ විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්තිභාවයක් අනුගමනය කරන්න ඕනේ. දැන් අපිට පේනවා විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම හරහා ආරක්ෂාව ලබාගෙන තියෙනවා. සමහර ප්‍රභූවරු ඉන්නවා කිසිම මහජන තනතුරක් නොදරන අය දැන් ආරක්ෂාව ලබාගෙන තියෙනවා.  ඉතින් ඒවයෙ විනිවිදභාවයක් නැහැ. ආරක්ෂාව හැමෝටම දෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය අයට පමණක් දුන්නම හොඳටම සෑහෙනවා. ඉතිරි නිලධාරීන්ව සාමාන්‍ය සේවයට යොදවන්න පුළුවන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: