hit counter

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 17, ප.ව. 6:07



මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ගිලන් රථ රාජකාරියේ නියුතු රියදුරු පිරිසක් වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරුකර යවා නුපුහුණු රියදුරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අනුයුක්ත කිරීමට පියවර ගැනීම පිළිබඳ විරෝධය පා මධ්‍යම පළාත් රාජ්‍ය සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.                                                              

මහනුවර 17 දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ ඉහත සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න කියා සිටියේ මෙම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය වහාම අහෝසි නොකරන්නේ නම් ජනවාරි මස පළමුදා සිට මධ්‍යම පළාත පමණක් නොව සමස්ත දිවයිනේ සෞඛ්‍ය වෘත්තිය සමිති හා එක්ව අඛණ්ඩ සේවා වර්ජනයකට යාමට මේ වන විට සැලසුම් කොට ඇති බවය.                                                               

මෙහිදී අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“මධ්‍යම පළාතේ වසර 20,30 හෝ ඊටත් වැඩි පුහුණුව හා පලපුරුද්ද සහිත ගිලන් රථ රියදුරන් 15 දෙනෙකු මේ වනවිට පළාතේ වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරු කොට ඊට අදාළ ලිපි ලේඛන එවා තිබෙනවා. ඒ වෙනුවට කිසිදු හෝ පුහුණුවක් නොමැති නවක රියදුරන් 15 දෙනෙකු ගිලන් රථ ධාවනය සඳහා අනුයුක්ත කර තිබෙනවා. මේක ඉතාමත් අනර්ථකාරී කටයුත්තක්. සෞඛ්‍ය සේවා චක්‍රලේඛනයේ  තියෙනවා මෙම සේවයේ අවම වශයෙන් වසර පහක පළපුරුද්දක් ඇති රියදුරෙක් පමණක් ගිලන් රථ ධාවනය සඳහා යෙදවිය යුතුයි කියලා. මේ ස්ථාන මාරු කොට ඇති ගිලන් රථ රියදුරන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් යොදවා විධිමත් දිගුකාලීන පුහුණුවක් ලබා දී තිබෙනවා. අපි පළපුරුද්දෙන් දන්නවා මේ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක් වෙන්න පුළුවන්.                                                     

අපි මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළත් කිසිදු හෝ නම්‍යශීලි භාවයක් දක්වන්නේ නෑ. ඒ වෙනුවට මේ නවක රියදුරන් සඳහා එක් දිනක ගිලන් රථ ධාවන පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. පුහුණුව ලත් ගිලන් රථ රියදුරෙකුට ගර්භනී මව්වරුන්, සුසුම්නා ආබාධිත තැනැත්තන්, අස්ථි භංග රෝගීන්, අසාධ්‍ය කුඩා දරුවන්, ඔක්සිජන්, ඖෂධ වර්ග ප්‍රවාහනය සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙලෙස පුහුණුවලත් රියදුරන් ඉවත් කොට නවක රියදුරන් ඒ සඳහා යෙදවීමේ අවදානම් සහගත පියවරක් ගන්නේ කාගේ වුවමනාවටද කියලා අපි ප්‍රශ්න කරනවා.”

මෙහිදී අදහස් පළ කළ මධ්යම පළාත් ගිලන් රථ රියදුරු සංගමයේ ලේකම් සුදත් හේරත් කියා සිටියේ අත්තනෝමතික ස්ථාන මාරු කිරීම් වහා අහෝසි නොකරන්නේ නම් දීප ව්යාප්ත ගිලන් රථ රියැදුරු වර්ජනයක් ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.                                                  

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  ඒ මහතා මෙසේද සඳහන් කළා.

“අද මේ පුහුණු ගිලන් රථ රියදුරන් කෘෂිකර්ම, පශුවෛද්‍ය, ඉංජිනේරු, අධ්‍යාපන හා විවිධ රාජ්‍ය ආයතන සේවාවන් සඳහා අනුයුක්ත කොට තිබෙනවා. මේක විශාල අසාධාරණයක්. රාජ්‍ය සේවා මාරු ප්‍රතිපත්තියට අපේ විරුද්ධත්වයක් නෑ. අපේ ඉල්ලීම තමයි පුහුණු ගිලන් රථ රියදුරන් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ රාජකාරී සඳහාම යොදවන්න කියන එක. ගිලන් රථ සඳහා පුහුණු රියදුරන්ම යොදවන්න කියන එක. එහෙම නැතුව මේ රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ තත්වයට විරෝධය පා මේ මස 19 හා 20 දෙදින මධ්‍යම පළාතේ සියලුම ගිලන් රථ රියදුරන් වර්ජනයක නිරත වීමට සැලසුම් කොට තිබෙනවා. ඒ සඳහා අදාළ අංශ  අවධානය යොමු නොකළහොත් ජනවාරි මස සිට මධ්‍යම පළාත් රියදුරන් පමණක් නොව දීප ව්යාප්ත ගිලන් රථ රියදුරු වර්ජනයකට අපි සැලසුම් කොට තිබෙනවා.”                                                                                                                                       

මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන මෙන්  අපි අදාළ බලධාරීන්ගෙන් හුදෙක්ම ඉල්ලා සිටිනවා යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මහනුවර – කමල් සුරවීර