hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 මැයි 09, ප.ව. 9:11



කොටහේනේ මියගිය දැරිය අදාළ අපයෝජන සිද්ධියට මුහුණදුන් පසුව, ඇයව එම පාසලෙන් ඉවත් කරගන්නා ලෙසට එම පාසලේ විදුහල්පතිනිය විසින් දැරියගේ දෙමාපියන්ට බලපැම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

අදාළ අපයෝජන සිද්ධියට මුහුණදුන් දැරිය පසුව JMO වරයෙක් වෙත ඉදිරිපත් කර ඇති බවත්, එහිදී රෝහල විසින් දැරිය ලිංගික අතවරයට ලක්ව ඇති බව කොටහේන පොලිසියට දන්වන ලද බව පැවසු මන්ත්‍රිවරයා, ඉන් අනතුරුව බම්බලපිටිය පොලීසිය විසින් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළා.

අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවා.

ඒ අනුව අදාළ විදුහල්පතිවරිය මේ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමකින් තොරව කටයුතු කර තිබෙන අතර ඇයගේ බලපෑම මත ඉවත් කරගත් දැරිය වෙනත් පාසලකට යොමු කර තිබෙන බව රහුමාන් මහතා පෙන්වා දුන්නා.

තවදුරටත් අදහස් දක්වමින් රහුමාන් මහතා සඳහන් කළේ, දැරිය සහභාගි වූ උපකාරක පංතියේ ගුරුවරයා අතවර සිද්ධියට චෝදනා ලැබූ ගුරුවරයාගේ හිතවතෙක් බවත් එහිදී එම උපකාරක පංති ගුරුවරයා එහි සිටි සියලු දෙනා ඉදිරියේ දැරියට අපහාස සිදුකර ඇති බවත් ය.

‍එලෙස අපහාස කිරීමෙන් අනතුරුව අදාළ දැරිය මානසික පීඩනයට ලක්ව ඇති අතර, අනතුරුව දැරිය විසින් සියදිවි නසාගෙන තිබෙන බව පැවසුවා.

රහුමාන් මහතා කියා සිටියේ චෝදනාවට ලක්ව සිටින උපකාරක පංති ගුරුවරයාගේ නිවසට ඊයේ (09) දිනයේ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි.

තවද චෝදනාවලට ලක් වන පුද්ගලයෙක්ට එලෙස පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ කෙසේදැයි ගැටලු සහගත බවත්, ‍අධ්‍යාපන අමාත්‍යංශය හා පොලීසිය එක්ව මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බවත් රහුමාන් මහතා පවසා සිටියා.