hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:39



අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධි අවිආයුධ යෙදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතා ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක්. ලංකාවේ ඕනෑම ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් ඉතා වේගයෙන් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔබ සමත් වී තිබෙනවා.

ඒ නිසා ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් අප සතු ව සිටිනවා. ඒ වගේම දක්ෂතාව පමණක් නොව, තමන් හමුවේ තිබෙන අභියෝග මතින් නිර්භීතව පියමන් කිරීමට අවශ්‍ය ධෛර්යය සහ කැපවීම ඔබට තිබෙනවා.

එහෙත්, අපේ රටේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන සහ අපරාධ තිබෙනවා. එම ඝාතන සහ අපරාධ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අසමත් වීම නිසාද.? එය මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ.

අපේ රටේ සොයා ගැනීමට නොහැකි වී තිබෙන අපරාධ හෝ ඝාතන සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදක්ෂභාවය නිසා හෝ කැප වීම නොමැතිකම නිසා නොවේ. සොයාගත නොහැකි සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලය තිබුණා. 

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොන තරම් වුවමනාවකින් සහ කැපවීමකින් එම විමර්ශන දියත් කිරීමට උත්සාහ කළද දේශපාලන බලය විසින් එය අඩපණ කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. අඩපණ කළා පමණක් නොව එම විමර්ශනවල නිරත වූ නිලධාරීන් හඹා ගෙන ගොස් පළිගැනීමේ සංස්කෘතියක් තිබුණා.

නිවැරදිව රාජකාරිය ඉටු කිරීම, පළිගැනීමට හේතුවක් බවට පත් වූ ඉතිහාසයක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට මම ඔබට සහතික වෙනවා. ඔබ ඔබේ රාජකාරිය රට වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් ඉටු කරන්න නොබියව ඉදිරියට එන්න. 

ඒ වගේම, ඇතැම් සංකල්ප ගොඩනඟන්න උත්සාහ කරනවා. මේ අපරාධ සහ ඝාතන වසර 15ක් ගිය විට ශුද්ධ වන බවට. එම ඝාතන කිසිවක් කාලය විසින් සුජාතභාවයට පත් කරන්නේ නැහැ. අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ දිය යුතු නැහැ.

එම අපරාධවලට අදාළ සැකකරුවන් තවමත් නීතිය හමුවට පැමිණ වීමට නොහැකි වී තිබෙනවා නම්, එමගින් කිසිසේත්ම අපරාධය ශුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපරාධයට හිමි දඩුවම කවදාද.? කොතැනද.? කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධාවක් නොවෙයි. 

ඒ නිසා පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව ඔබ දෙස බලා සිටිනවා. මේ සමාජය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා ඔබගේ සේවය ඉතා සුවිශේෂයි. ඔබගේ රාජකාරිය නොවෙන්න මේ සමාජය මේ ආකාරයෙන් පවතින්නේ නැහැ.

ඒ නිසා සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉතා වැදගත්. අද අපේ රට මහ වසංගතයකට ගොදුරු වී තිබෙනවා. නගරබදව පැවති මත්ද්‍රව්‍ය උවදුර අද ඈත ගම්මානද ගිලගෙන තිබෙනවා. අද අපේ දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්ව තිබෙනවා. තරුණ ජීවිත විනාශ කරමින් පවුල් විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයේ පතුලටම ඇද දමා තිබෙනවා.

මෙම ව්‍යාපාරයට දේශපාලන මැදිහත් වීම් තිබුණු බව අපි කවුරුත් දන්නවා. ඒ සඳහා රජයේ වැදගත්ම ආයතනවල ප්‍රධානින්ගේ මැදිහත් වීම තිබුණු බව අපි දන්නවා. ඒ වගේම, පොලිස් නිලධාරින්ගේ යම් ප්‍රමාණයකද සහයෝගය මේ සඳහා තිබූ බවට වාර්තා වී තිබෙනවා. ඔබ සිටින්නේ එම උවදුරට එරෙහිව කටයුතු කිරීමටයි. එහෙත් අතළොස්සක් එම වගකීම පැහැර හැර තිබෙන බව අකමැත්තෙන් වුවද කිව යුතුව තිබෙනවා.

ඒ නිසා එම පැරණි පුරුද්ද අතහරින්න කියා මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් ඔබ රාජකාරියෙන් ඉවත් වන්න. ඔබ ස්වේච්ඡාවෙන් එය නොකරන්නේ නම් ඔබ සේවයෙන් ඉවත් කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. සෑම දෙපාර්තමේන්තුවකටම එයට හිමි ගෞරවය අපි ස්ථාපිත කළ යුතුයි.”

“නීතිය සුරකිමු – සාමය අගයමු” තේමාව යටතේ ඊයේ (03) පස්වරුවේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: