hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 9:48



වසර තිහක කුරිරු ත්‍රස්තවාදය පරදවා රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය රැක දීම උදෙසා ජීවිත පූජාවෙන් කටයුතු කළ ආබාධිත රණවිරුවන් පිරිසක් ඔවුන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවට සාධාරණය ඉටු කරන ලෙස රජයෙන්, ජනාධිපතිතුමාගෙන්, ආරක්ෂක ලේකම්වරයාගෙන් හා යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

යුතුකම් ඉටු කර හිමිකම් නොලබන රණවිරු සංගමය නම් මෙම ආබාධිත රණවිරු සංගමයට සම්බන්ධ සිය ගණනාවක් වූ රණවිරුවන් හට වැටුප් ගෙවීමේදී විශාලතම අසාධාරණයක් සිදුව ඇති බව 16 දින මහනුවර පැවැති මාධ්ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නා.                                    

මෙහිදී අදහස් පළ කළ සංගමයේ ලේකම් විශ්‍රාමික කෝප්රල් එස්.එම්. සමරකෝන් කියා සිටියේ යුද භූමියේදී ආබාධිත තත්ත්වයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ රණවිරුවන් හට කිසිදු හෝ සාධාරණ හේතුවකින් තොරව දෙයාකාරයකින් වැටුප් ගෙවීමට යුද හමුදාව වසර ගණනාවක් තිස්සේ කටයුතු කිරීම හේතුවෙන් 51, 52, 53, 54, 55, 56, 57, 58 සේනාංකවල හා ගුවන් සංක්රමික බලසේනා වලට අනුයුක්තව රට වෙනුවෙන් සටන් වැදී අතපය හා ශරීරයේ අවයව අහිමිව ආබාධිත භාවයට පත් රණවිරුවෝ රැසක් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ආබාධිත රණවිරු සමරකෝන් මෙසේද සඳහන් කළා.

“එවකට වෛද්‍ය වර්ග කිරීම් ප්‍රතිශතයට අනුව සෞඛ්‍ය තත්වය සියයට පනහකට අඩු සියලුම සෙබළුන් සාමාන්ය ක්රමවේදය යටතේ වසර 22 ක සේවා කාලය අවසානයේ විශ්‍රාම ගැන්වීමට කටයුතු කලා. ඒත් ගැටළුව වෙන්නේ මෙම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් 2014.03.01 දිනට පෙර හා පසු වශයෙන් කොටස් දෙකකට බෙදා මින් 2014.03.01 පසු සාමාන්ය පරිදි විශ්රාමික ආබාධිත  රණවිරුවන් සඳහා හිඟ වැටුප් නොගෙවෙන ලෙසත් 2014.03.01.  පෙර විශ්‍රාම යන ආබාධිත රණවිරුවෝ සඳහා හිඟ වැටුප් ගෙවන ලෙසත් ආරක්ෂක අමාත්යාංශය යුද හමුදාවට උපදෙස් ලබාදීමයි. මා මෙන්ම සිය ගණනාවක් වූ ආබාධිත රණවිරුවෝ මේ හේතුවෙන් දැඩි අසාධාරණයකට ලක් වුණා. මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් හැම කෙනෙකුටම කිව්වා. ලියන්න පුළුවන් හැම කෙනෙකුටම ලිපි ලිව්වා. නමුත් මේ දක්වා සාධාරණයක් වෙලා නෑ. 2014.03.01 දිනට පෙර විශ්රාම ගිය අයට වැටුප රුපියල් 71.000 ක් පමණ ලබා දුන්නත් එම දිනයට පසුව විශ්‍රාම ගිය අයට ලබා දුන්නේ රුපියල් 24.000 පමණ වැටුපක්. මේක ඉතාමත් අසාධාරණයක්. රට වෙනුවෙන් අපගේ ශරීරයේ කොටස් ජීවිත පූජා කළ අපට මේ විදියට කරන්නේ ඇයි කියලයි අපි අහන්නේ. අපෙන් රටට වැඩක් නැත්නම් ගෝල්පේස් පිටියට අපි ගෙනල්ලා අපේ ඔළු වලට වෙඩි තියලා මරලා දාන්න කියලා අපි ඉල්ලනවා. එහෙම නැතුව කොහොමද අපි තවදුරටත් මේ දුක විඳින්නේ. අපේ පවුල්වල දරුවො ගෑණු නොවිදිනා දුක්විඳිනවා.

අපිට 2014.03.01 දිනයෙන් පසු විශ්‍රාම යන්න උනේ අත්යවශ්ය සේවා කියලා යුද හමුදාව තවදුරටත් ආබාධිත අපගේ සේවය යුද හමුදා කාර්යාල ඇතුළු වෙනත් කටයුතු සඳහා ලබා ගත් නිසයි. ඒ සේවය කරපු වසර ගණනාවක් වූ කාලයට අපිට වැටුප් ලැබුණේ රුපියල් 24.000 ක් පමණයි. ඉතිං ඒක අපේ වරදක්ද. අපි නොකළ වරදකට වන්දි ගෙවනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයා යුද්ධ කළා කීවට අපි තමයි යුද පෙරමුණට ගිහිල්ලා ත්‍රස්තවාදීන් එක්ක මුහුණට මුහුණ සටන් කළේ. කමල් ගුණරත්න මහත්තයා නියම රණවිරුවෙක් නම් අපිට මෙහෙම කරන්නේ නෑ. අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ අපිට සාධාරණයක් කරන්න කියලයි. නැත්නම් අපි බාධිත රණවිරුවෝ වශයෙන් දැඩි ක්රියාමාර්ග වලට ඉදිරියේ එළඹෙනවා.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.