hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2026 ජනවාරි 18, ප.ව. 7:14



බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට අනුශාසකත්වය ලබා දෙමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක, මුතියංගන රාජ මහා විහාරාධිපති අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියෝ මෙරට බුදුදහමට හා ජාතියට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සිය කනස්සල්ල පළ කළහ.

එහිදී අනුශාසනාව සිදු කළ මහානායක හිමියන් පෙන්වා දුන්නේ වර්තමානය වන විට අපේ ජාතිය, ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි. 

මෙරට ජනතාවට සහ බුදුදහමට එල්ල වෙමින් පවතින මෙම තර්ජනය පිළිබඳව සියලු දෙනා දැඩි අවධානයෙන් පසුවිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

“බුදුදහම ඇතැම් පිරිසකට මහත් හිසරදයක් වී තිබෙනවා. ඒ මෙරට සිටින පිරිස්ද නැතිනම් විදේශිකයන්ද යන්න නොදන්නා නමුත්, ඔවුන් සිදුකරන විනාශකාරී කටයුතු තුළින් මෙතෙක් කල් ආරක්ෂා කරගත් බුද්ධ ධර්මය විනාශ කිරීමට කටයුතු යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා,” යැයි මහානායක හිමියන් වැඩිදුරටත් පැවසූහ.

මෙම තත්ත්වය හමුවේ වැඩිහිටි සමාජය ඇතුළු සමස්ත ජනතාවම බුද්ධිමත්ව සහ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. 

විවිධ ආගම් සහ විවිධ ජාතීන් මෙරට ජීවත් වුවද, මෙම වටිනාකම් ආරක්ෂා කර ගැනීමට නම් සියලු දෙනාම එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.