hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූලි 01, පෙ.ව. 12:04



සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ, 1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්‍ය කටයුතුවලට හෝ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර පිණිස බව කියමින් මුදල් රැස් කිරීම දරුවන් පෙන්වමින් සිඟා කෑම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

ඒ, අනුව එවැනි නීති විරෝධී කණ්ඩායමකට කිසිසේත්ම සංගමයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති බවද එවන් තත්ත්වයක් ඇත්නම් ඔවුන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමට ක්‍රියාත්මක විය හැකි බවද ඔහු අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය 26 වෙනිදා පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ, නාගරික කොමසාරිස්වරිය එවැන්නක් ප්‍රකාශ කළ නමුත් මහනුවර යාචක සංගමයක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

ඒ, අනුව යම් හෙයකින් එවැනි සංගමයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ.