hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 13, ප.ව. 12:47



මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහනේ දැක්වෙන්නේ රුධිර “ප්ලාස්මා” ලීටර් 170 ක් රුපියල් ලක්ෂ 25 කට විකිණූ කතාවක්.

එම සම්පූර්ණ සටහන පහතින්,

මිනිස් “රුහිරුත්” විකුණ ගෙන කන චෞරන්ගේත් , චෞරයෝ………..!

================================== රුධිර “ප්ලාස්මා” ලීටර් 170 ක් රුපියල් ලක්ෂ 25 කට විකුණලා………!

===================================

රටේ සිදුවූ , සිදුවන මහා පරිමාණ වංචා , දූෂණ අනේකවත් මේ ලියුම්කරු විසින් අනාවරණය කර තිබේ. එහිදී ඇතැම් අවස්ථාවල සිදුව ඇති වංචා , දූෂණවල බරපතලකම තදින් අවධාරණය කරනු වස් , මෙකී වංචා දූෂණ සමාන වන්නේ ජනතාවගේ රීරි මාංශ උරා බීමකට යැයි හදුන්වා දුන්නෙමි.

හදුන්වා දීම හැරෙන්නට මෙතුවක් මිනිස් “රුධිරය” අලෙවි කිරීමේ මිලේච්ඡ වූත් , සහාසික වූත් පුවතක සැබෑ ලේඛන මගේ ඇස නොගැටුණි. එහෙත් ජාතික විගණන කාර්යාලය නිකුත් කරණ ලද විගණන වාර්තාවකට අනුව එය සැබැවින්ම සිදුවී තිබේ.

කොළඹ මධ්‍යම ලේ බැංකුව……..!

================================

කොළඹ මාධ්‍යම “ලේ” බැංකුව 2023 නොවැම්බර් 20 වනවිට ‘අයිසොලෙට් බයෝටෙක්’ නැමති පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමට “රුධිර ප්ලාස්මා” ලීටර් 170 ක් රුපියල් 24, 60,174.00 කට නීති විරෝධීව අලෙවි කර තිබේ. මෙය හුදෙක් වංචාවකට වඩා හද කීරි ගැහෙන බරපතල මානව අපරාධයකි.

රුධිර ‘ප්ලාස්මා’ අලෙවි කර ඇත්තේ ව්‍යාජ ලෙස “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” ඖෂධය නිපදවන බව කියූ ව්‍යාජ සමාගමට ය……!

===================================කව්රු හෝ වැසියකු ස්වේච්ඡාවෙන් තම සිරුරේ ඇති “ලේ” ටිකක් දන් දීමට පෙළඹෙන්නේ අති උදාර චේතනාවකිනි. ඒ අන් කිසිවක් නිසා නොව , තවත් ජීවිතයක් බේරා ගැනීමේ උත්කෘෂ්ට සිතුවිල්ලෙනි. “ලේ බිදක් දන් දී ජීවිතයක් බේරා ගන්න” යැයි උදාන වාක්‍යයක් කලක සිට පවතින්නේ ද ඊට උත්තේජනයක් සපයනු පිණිස ය.

රටේ ඇති මාධ්‍යම ‘ලේ’ බැංකුව වරින්වර පරිත්‍යාගශීලීන්ට ඇරයුම් කරන්නේත් , ජංගම රථ යොදා ගෙන නගර , ගම් දනව් පවා සැරිසරන්නේත් ඕනෑම හදිසි අවශ්‍යතාවකට අවශ්‍ය සියලුම වර්ගයේ රුධිරය ප්‍රමාණවත් පරිදි ගබඩාකර තබා ගැනීමට ය. ලේ ටිකක් දන් දීමට ශරීර යෝග්‍යතාව ඇති කිසිවකු ඒ අවස්ථාව මග හරින්නේ ද නැත. එලෙස දන් දෙන “රුහිරු” රුපියල් ලක්ෂ විස්සකට, විසි පහකට අලෙවි කරන්නේ නම් , එය කොතරම් සාපරාධී අපරාධයක් ද ?

ආන්දෝලනයට තුඩුදුන් “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” ඖෂධය …….?

==================================

මධ්‍යම ලේ බැංකුව නීති විරෝධීව ඉහත සමාගමට රුධිර ‘ප්ලාස්මා’ ලීටර් (පයින්ට්) 170 ක් ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලකට අලෙවිකර ඇත්තේ “හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ලංකාව තුළ නිෂ්පාදනය පිණිස ය. ඉහත සමාගමට එම ඖෂධය නිපද වීමට අවසරයක් හෝ සුදුසුකමක් නැත. තත්ත්වය එසේ වුවද , දැනට බන්ධනාගාර රෝහල්ගතව සිටින සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය ලේකම් ප්‍රමුඛ ඉහළ බලධාරීන් ගෙන් එම ව්‍යාජ සමාගමට පූර්ණ අනුග්‍රහයක් ලැබී තිබේ.

රුධිර ප්ලාස්මා ලීටර් 170 ට අමතරව තවත් රුධිර ලීටර් (පයින්ට්) 06 ක් නීති විරෝධීව විකුණලා………!

===================================2023 මාර්තූ 10 දින ඉහත රුධිර ප්ලාස්මා ලීටර් 170 ට අමතරව සාමාන්‍ය රුධිර පැකට් 06 ක් රුපියල් 12,000 අලෙවිකර තිබේ. සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ නිර්දේශ මත මාධ්‍යම “ලේ” බැංකුවේ අධ්‍යක්ෂවරයා විසින් මේ “රුධිර” අලෙවිය සිදුකර තිබේ.

විගණකාධිපති වාර්තාවට අනුව මෙහි ඇති බරපතල අපරාධය ලෙස සටහන් කර ඇත්තේ මේ රුධිර ප්ලාස්මා අසාධිත නොවන බවට රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු නොකොට බාහිර පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කිරීම යි. රුධිර පාරවියලන ආයතනයේ නිර්දේශයන් ද නොමැතිව මධ්‍යම ලේ බැංකුව කටයුතු කිරීම බරපතල වරදක් බවයි.

අවසානයේ මිනිසුන්ගේ රුහිරු විකිණීමට ද ඔවුහු පසුබට නොවූහ……..!

===================================

මිනිස් “රුහිරු” පොදක වටිනාකම මෙතෙකැයි යන්න සීමාසහිත මිලක් නියම කිරීමට හැකි ජගතෙකු මේ මිහිපිට සිටිනූ ඇද්දැයි ? කෙනෙකු විමසිය හැක. ඔව් එවන් අධමයෝ ශ්‍රී ලංකා පොළොව මතුපිට ඕනෑ තරම් වෙසෙත්. එකී අධමයන්ට අනුව ‘රුධිර ප්ලාස්මා ලීටර් 170 ක මිල රුපියල් 24 , 60 , 174.00 කි. වැඩි කල් ගෙවන්නට පෙර ජීවමාන මිනිසකුගේ මිල රුපියල් මෙච්චරයි යන්න උන් සහතික ලෙසම ගණනය කරනු ඇත.

පහත ලින්කුවේ ඇති ලිපිය “රුහිරු’ ජාවාරම සමග වූ අනෙක් ජාවාරම පැහැදිලි කෙරේ…..!

(පෝද්දල ජයන්ත)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: