hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 5:14



බොල්ගොඩ ගඟ රක්ෂිතයේ එළිපෙහෙළි කිරීම්, ගිනි තැබීම් ගොඩ කිරීම් සහ ඉදිකිරීම් බහුලව සිදු වීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

මේ හේතුවෙන් රක්ෂිතය ආසන්නයේ ගැවසෙන පක්ෂීන් සහ අනෙකුත් සතුන්ට යන එන මං නොමැතිව  එම සතුන් මියගොස්, වඳ වීමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙනවා.

බණ්ඩාරගම, කඹුරුගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ රැකවරණය මධ්‍යයේ බොල්ගොඩ රක්ෂිතය එළි පෙහෙළි කර තහඩුවලින් විශාල මඩුවක්ද ඉදිකර ඇති අතර ඊට අමතරව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බොල්ගොඩ ගඟ රක්ෂිත සීමා මායිම්වල අනවසර දෙමහල් ගොඩනැඟිලි, විහාරස්ථාන බවට හැඟවෙන ස්ථාන ඇතුළු ඉදිකිරීම් රැසක් සිදුකර ඇතැයි එහි සංචාරය කරන ඕනෑම කෙනකුට දැක ගත හැකි වෙනවා.

මෙම සියලුම ඉදිකිරීම් ගොඩකිරීම්වල පසුපස ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන් සිටින බවත්, රාජ්‍ය නිලධාරීන් මීට එරෙහිව කටයුතු කිරීමෙන් ඉකුත් කාලය පුරා විවිධ බලපෑම්වලට ලක්ව  ඔවුන්ට ස්ථාන මාරු පවා ලබාදීමට  කටයුතු කර තිබූ බවත් ප්‍රදේශවාසීහු පවසනවා.

මේ පිළිබඳ  බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසුවා.

“බොල්ගොඩ ගඟ රක්ෂිතය කේන්ද්‍ර කොටගෙන විවිධ තරාතිරමේ පුද්ගලයන් ඉදිකිරීම්, ගොඩකිරීම් සිදුකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබුණා. ඒ අනුව මීට දින කීපයකට ඉහතදී මධ්‍යම පරිසර අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමඟම පුද්ගලිකවම බොල්ගොඩ ගඟේ රක්ෂිතයට කර ඇති හානිය පිළිබඳ සොයා බැලීමට ඒකාබද්ධ පරීක්ෂණ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහි පොදු වාර්තාවක්  මධ්‍යම පරිසර අධිකාරියට යොමුකර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.”