hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 10, පෙ.ව. 12:56



තලාහේන හල්බරාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක තණකොළ කපන යන්ත්‍රයක තලයක් වැදීමෙන් බරපතල  කැපුම් තුවාල ලබා වසය අවුරුදු 5 1/2  පිරිමි දරුවකු මියයාමේ සිද්ධියට එහි තණකොළ කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කළා.

නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවාගේ මරණ සිදුකර, ඒ සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී අසත්‍ය කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙනුයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවා වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේ දී ඔහු බෝතලය මතට වැටී තුවාල ලැබු  බවට සැකකරු මුලින්ම පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ තලාහේන් හල්බරාවේ පදිංචි ජොනිත් මාර්ක් ෆෝන්සේකා නමැති දරුවා බව පොලිසිය සඳහන් කළා.

ඔහුගේ තණකොළ කපන යන්ත්‍රය දෝෂයක් නිසා එය එහි  බිම තබා කිහිපවරක්ම ක්‍රියාත්මත කළ බවත්, එම අවස්ථාවේ  එය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් තලය අසල තිබු හිස් මත්පැන් බෝතලයේ වැදී  එය බිදී ගිය බවයි.

එම අවස්ථාවේ තමා යන්ත්‍රය ඔසවා පැත්තට ගත් අවස්ථාවේ ඒ අසලින් සිට සිද්ධිය බලා සිටි දරුවාගේ උදරයේ  තලය වැදී උදර ප්‍රදේශය බරපතල ලෙස කැපී ගිය බවට එම සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවයි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින්.

සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් ඊයේ ඔහු වෙනත් ගමනක් ගොස් තිබෙනවා.

සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත් දරුවා පවසා ඇත්තේ “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්.” වශයෙනුයි.

දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී මියගොස් සිටින බවට අසළ නිවැසියෙකු වෙත දන්වා ඇත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයා විසිනුයි.

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසියේ සැකයට තුඩුදී තිබුණා.

එමෙන්ම මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී බෝතලයක් එතරම් කුඩා කැබලිවලට බිඳීයා නොහැකි බවත් පොලිසියේ නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කෙරෙන විමර්ශන වෙනුවෙන් මුල්ලේරියාව පොලීසිය අද දරුවාගේ සීයා සහ දරුවා මියයන අවස්ථාවේ එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා.