hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 10, ප.ව. 1:12



“මගේ දරුවා වතුර වලේ හිර වෙලා ඉන්නකොට උන්ට ගන්න තිබ්බා. ඇයි මුන්ගේ මොනවද තියෙන ආරක්ෂාව. මගේ දරුවා ඉවර කරානේ.” ඒ සිය තරුණ පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකි වූ පියෙකුගේ විලාපයයි.

හදිසි අනතුරකින් මෙලෙස අකාලයේ දිවි අත්හැර යන්නේ යසින්ත ක්‍රිශාන් නම් විසි අට හැවිරිදි තරුණයෙක්.

දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පෞද්ගලික දුරකථන සමාගමක ඉංජිනේරු අංශයේ සේවය කර තිබුණා.

එම ආයතනයේ යසින්ත ද ඇතුළු පිරිසක් ඌව කුඩාඔය කඳවුරේ නායකත්ව පුහුණුවක් සඳහා පසුගිය හය වෙනිදා සහභාගි වී තිබෙනවා.

එම පිරිස එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සඳහා ද එක්ව තිබුණා.

කේබල් මතින් ගමන් කිරීමේ ක්‍රියාකාරකමකට යසින්ත ද එක් වන්නේ ඒ අනුවයි.

දහසය දෙනෙකු කේබල් මතින් ඒ කොන සිට මේ කොනට පැමිණියත් දාහත්වෙනියා වූ යසින්තට ක්‍රියාකාරකම නිමා කරන්නට හැකි වන්නේ නැහැ.

ප්‍රධාන රැහැන එක් පසකින් බිඳී ගොස් යසින්ට ජලයට ඇද වැටෙන්නේ නිමේෂයකින්.

“මගේ දරුවා බේරගන්න මුන් මොකක්ද කළේ උන් බලා හිටියාද?නුපුහුණු මිනිහෙක් ඕවා කරනකොට කෝ මූට තිබ්බ රැකවරණය? කාගෙවත් රැකවරණයක් නැහැ. මේක මිනීමැරුමක් හරිද? මට දහයක් නෑ එකයි ඉන්නේ. දහඅට වෙනියාගෙන් අහන්න. මගේ දරුවෝ ආධාර ඉල්ලලා තියෙනවා. ආයේ නෑයි කියන්න බෑ. මගේ දරුවා ආධාර ඉල්ලලා තියෙනවා. මෙයා දාහත, දහඅට හිටියා. ඊළඟට යන්න දාහතේ සිද්ධිය වුණා.” සිය තරුණ පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකි වූ පියෙකුගේ විලාප දුන්නේ එලෙසයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ තරුණයා ජලයට වැටීමත් සමඟ එහි මඩ කැලතීම නිසා ඔහු සොයා ගැනීමට විනාඩි තුනක් හතරක් පමණ ගත වී ඇති බවයි.

තණමල්විල රෝහලට තරුණයා ඇතුළත් කළ ද ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

යසින්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකෙරුණා.

Example Image