hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගුරුවරුන්ට SMS පණිවිඩයක්වත් යවාගත නොහැකි බවට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවත් ඒ තුළින් ගුරුවරුන් ඉතා පහත් තත්වයකට ඇද දැමු බවත් හිටපු අමාත්‍ය සී.බි.රත්නායක මහතා අවධාරණය කරයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි හිටපු අමාත්‍ය සී.බි.රත්නායක මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරුවරුන් ‘ගුරු දෙවිවරු’ ලෙස හැඳින්විය හැකි බවද දෙමව්පියන්ගෙන් පසුව ගුරුහරුකම් ලබාදෙන්නේ ගුරුවරුන් බවද කියා සිටියේය. නමුත් පසුගිය දිනයකදී ජනාධිපතිතුමන් විසින් SMS පණිවිඩයක් යවා ගැනීමටවත් ගුරුවරු නොදන්නා බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සී.බී.රත්නායක මහතා විසින් මෙහිදී සඳහන් කළේය. එකී කාරණය තුළින් ගුරුවරුන් ඉතාම පහතට ඇද දැමූ බවට ඒ මහතා චෝදනා එල්ල කර සිටියේය.

නව තාක්ෂණය, මෙවලම් පරිහරණය පිළිබඳ ව වැඩමුළු රාශියක් සිදුකරමින් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යයන අවකාශය සකස් කර දෙමින් සිටින පසුබිමක ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සී.බී රත්නායක මහතා කණගාටුව පළ කළේය.

ගුරුවරුන් ලබාදුන් ගුණනැණ තුළින් ලබාගත් දැනුම් සම්භාරය සමාජයක ජීවත් වීමේ අඩිතාලමක් බවට පත් වූ නිසාවෙන් මේ තාක් දුර පැමිණීමට ඉවහල් වූ බව එතුමා සඳහන් කර සිටියේය. එවැනි පසුබිමක ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යයනමෙවලම් සැපයීම වෙනුවට ගුරුවරුන් හැල්ලු කිරීම නොකළ යුත්තක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.