hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 07, පෙ.ව. 10:11



රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා. 

ඊයේ (06) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දන්වා තිබුණා.

වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන සඳුදා දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට්  මණ්ඩලය ද  ඉබේම අහෝසි වනු ඇති.

ඒ අනුව එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වනවා. 

රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත්, ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අර්බුදකාරි තත්වය හමුවේ සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන් බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එහිදී  අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: