hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 1:28



සාමාන්‍යයෙන් වාර්ෂිකව මාර්තු සිට මැයි දක්වා කාල සීමාව තුල මෙරට පවතින්නේ උණුසුම් කාලගුණික තත්වයක්.

ඒ අනුව මේ දිනවල වායුගෝලීය උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක 32 සිට 36 දක්වා පරාසය තුළයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඊයේ පස්වරු 2.30 වන විට වැඩිම වායුගෝලීය උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 35.3ක්.

වවුනියාව සෙල්සියස් අංශක 35ක්, ත්‍රිකුණාමලය සෙල්සියස් අංශක 34ක්, කොළඹ, පුත්තලම හා හම්බන්තොට, සෙල්සියස් අංශක 33 බැගින් වායුගෝලීය උෂ්ණත්වය දැක්වුණා.

කෙසේ වෙතත් මීට වැඩි උණුසුමක් මේ දිනවල සිරුරට දැනෙන ආකාරය අත්විඳිය හැකියි.

“කියන්න තේරෙන්නේ නැහැ මේ රස්නෙ මොකක්ද කියලා.”

“පෑවිල්ල ඉන්න අමාරුයි ඉතින්. මොනා කරන්නද? රස්සාව කරගන්නත් එපැයි.”

“ළමයින්ටත් අමාරුයි. අව්ව සැරයි. රෑට ඊටත් වඩා අමාරුයි පුතේ.”

“දැනුත් මේ ගෙදර කූල් වතුර තියලා ආවේ. ආපු ගමන් බොන්න කියලා.”

“ඉන්නම බෑනේ. මේ ඔක්කොම අතපය දැවිල්ලයි ඔක්කොම. වතුර බිල ඉවරෙකුත් නෑ.”

මෙලෙස වැඩි උණුසුමක් සිරුරට දැනෙන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීම සහ සුළං ධාරා අවම වීම වැනි හේතු මතයි.

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය මනිනු ලබන්නේ උණුසුම් දර්ශකය අනුව වන අතර එය සෙල්සියස් අංශක 27ත් 38ත් අතර අගයක් නම් එය සැලකෙන්නේ සාමාන්‍ය තත්වයක් ලෙසයි.

නමුත් මේ දිනවල සිරුරට දැනෙන උණුසුම පවතින සෙල්සියස් අංශක 39ත්, 45ත් අතර එනම් අවධානයෙන් පසු විය යුතු තත්වයකයි.

මෙම උණුසුම ඊයේ දිනයේ කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඉහළ අගයන් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුවර්ධන මහතා මෙසේ සඳහන් කළා,

“මෙම සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු උණුසුම් මට්ටම නිරිත දිග මෝසම ආරම්භ වන තුරු එනම් මැයි මස අග සහ ජූනි මස මුල් සතිය පමණ වන තුරු පවතී යැයි අප බලාපොරොත්තු වෙනවා.”

ඒ අනුව මේ දිනවල ඔබ එළිමහන් වැඩ බිමක සේවය කරන අයෙක් නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත් විටින් විට අව් රශ්මිය මඟහරිමින් සෙවණකට වී සිටීමත් සුදුසු බව සෞඛ්‍ය අංශ මතයයි.

එමෙන්ම කුඩා දරුවන්ව පිටතට පැමිණීමට නොහැකි වන අයුරින් මෝටර් රථ තුල තබා නොයන ලෙසටද සෞඛ්‍ය අංශ, මව්පියන්ට උපදෙස් ලබා දෙනවා.

ආසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා මෙසේ සඳහන් කළා.

“මෙහිදී ඇත්තටම බරපතල ගැටළුකාරී තත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා හීඩ් ස්ට්රෝක් එහෙම නැත්නම් තාප ආඝාතය කියලා. එහිදී යම් ආකාරයේ ක්ලාන්ත ගතියක්, එහෙම නැත්නම් පිපාසය, වමනය. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එය සමනය කරගැනීම වැදගත්. ඒ වගේම අපි සියලු දෙනාම මේ අධික හිරු රශ්මියට නිරාවරණය වෙනවා නම්, හිස් වැසුම්, කුඩ වගේ දේවල් භාවිතා කිරීම වැදගත්. ඒ වගේම අපි ඇඳුන ඇඳුම් පවා පරණ ලා වර්ණ පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද එහිදීත් අර තාපයට අවශෝෂණය කිරීමේ මඟින් අඩුවීමක් සිදුවෙන නිසා. ඒ වගේම ඉතා වැදගත් දෙයක් තමයි මේ දිනවල අපි ජලය ලීටර් දෙකක් දෙකයි දශම පහක් වගේ ප්‍රමාණයක් භාවිතා ගන්න පුළුවන් නම් ඉතා හොඳයි වැඩිහිටි අයෙකුට. හැබැයි මෙහිදී පිපාසය නිසා කෘතීම වර්ග භාවිතා කිරීම ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි.”

මේ අතර පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුළු බව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය ද වළක්වා ගැනීම සඳහා මවුපියන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“සෑම පාසල් නිවාඩුව අවසන් වනවාත් සමඟම අපි පාචනය තියෙන දරුවන්ගේ වැඩිවීමක් දකිනවා. මොකද දරුවෝ තැන තැන ඇවිදින්න යනවා. තැන තැන දකින දකින දේ කෑමට ගන්නවා. දරුවෙක්ට උණත් එක්ක වමනේ බඩ එලිය තිබුණොත් විජලනය වීමේ හැකියාව වැඩියි. මොකද දාඩිය දැමීමත් වැඩියි. එහෙම තත්වයක් තියෙනවා නම් ස්වභාවික දියර ආහාර වැඩිපුර අපේ දරුවන්ට පානයට ලබාදෙන්න. විශේෂයෙන්ම තැඹිලි වතුර, කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරන්, දෙළුම්, පැණිකොමඩු වගේ දේවල්. ඉතින් ඒ වගේ වලින් විජලනය වලක්වා ගන්න පුළුවන්”