hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2026 මාර්තු 15, ප.ව. 1:40



ලාංකීය සමාජය තුල දුම්බීම බහුලව සිදුවුවත්, එය වැඩිය කතාබහට ලක්නොවන කාරනාවකි. රට තුල දුම්පානය අවම කිරීම උදෙසා රජයන් විසින් අධික බදු හරහා ඉහල මිල, සහ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බීම තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙමගින් දුම්බීම යම්තාක් දුරට අඩුවී ඇති නමුත් බලධාරීන් සහ ඇතැමුන් විසින් බලාපොරොත්තු වූ තත්වය ලඟා කරගැනීමට නොහැකි වී ඇත. ඒ රට තුල බහුලව දක්නට ඇති හොර සිගරට් සහ බීඩි හේතුවෙනි. සිගරට් සිල්ලරට විකිණීම තහනම් කිරීම මගින් විවිද රාජ්‍ය නොවන පාර්ශව දුම්පානය පාලනය කිරීමට උත්සහ දරන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙවන් නීති ගෙන ඒමට රජයට බලපෑම් කරන්නයි. මෙවන් නීති ක්‍රියාමාර්ගයක් සාර්ථක විය හැකිද? නැත.

මෙවැනි ක්‍රියාකාරකමක් තුලින් අප රටට හා සමාජයට හානිදායි බලපෑම් කිහිපයක් එල්ලවනු ඇත. මෙවැනි  තත්වයක් යටතේ සාමාන්‍ය පුරවැසියෙකුට සිගරට් පැකට්ටුවක් මිලදී ගැනීමට රු 3,500 ආසන්න මුදලක් වැය වනු ඇත. පවතින ආර්ථික සහ සමාජ පීඩන තත්ව තුල මෙය බොහෝ දෙනෙකුට දරාගත හැකි මුදලක් නොවේ. මෙමගින් ලංකාව තුල නිෂ්පාදිත දුම්වැටි මිලදීගැනීම අඩුවන බව නොඅනුමානයි. දුම්පානය කරන්නන් ඒ හේතුවෙන් මිල අඩු හොර සිගරට් සහ බීඩි වලට යොමු වීම අපට දැනටත් බහුලව දැකගත හැක. සිගරට් සිල්ලර විකිණීම තහනම් කලොත් එම තත්වය තවත් උග්‍ර වනු ඇත. පහත යන වෙළඳපොලක දේශීයව නිෂ්පාදිත දුම්වැටි හරහා රජය ලබන ආදායම පහත වැටෙනු ඇත

අප සියලු දෙන දන්නා පරිදි හොර සිගරට් රාශියක් රට තුල පාර්භෝගිකයන් විසින් මිලදී ගනී. සිගරට් සිල්ලර විකිණුම් තහනමක් මෙම නීතිවිරෝධී භාණ්ඩ වලට බලපාන්නේ නැත. මොකද හොර භාණ්ඩ රට තුල කිසිම නිෂ්පාදන හෝ ආනයන ලයිස්තුවක ඇතුලත් නැත. එ පිලිබඳ දත්ත ලබාගැනීමට රජය හෝ වෙනත් පාර්ශවයකට නොහැක. මිල පාලනයක්ද නොමැත. රට තුල දුම් වැටි වලට අදාළ කිසිම නීතියක් දැනටමත් මෙම භාණ්ඩ වලට සහ ඇසුරුම් වලට අදාළ වී නොමැත. එනිසා සිගරට් සිල්ලරට විකිනීම නතර වුවොත් සිදුවන්නේ දුම් පානය කරන බහුතරයක් හොර සිගරට් භාවිතයට යොමු වීමයි. මෙය සමාජ ආරක්ෂණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

නීතිමය භාණ්ඩ වටා රෙගුලාසි තද වැඩි වන විට හොර භාණ්ඩ වෙළඳ පොළ ආක්‍රමණය කරයි. දකුණු අප්‍රිකාව මෙයට කදිම නිදසුනකි. මෙම තත්වය නිවැරදි කිරීම් ලේසි පහසු කාර්යක් නොවේ. දැඩි රෙගුලාසි හේතුවෙන් දකුණු අප්‍රිකාවේ නීතිමය සිගරට් සහ භාණ්ඩ වෙළඳ පොල බිඳ වැටුණි. එම රටේ මුළු සිගරට් භාවිතාවෙන්  65% වඩා දැන් ඇත්තේ හොර සිගරට්. එහි ආර්ථික සහ ආරක්ෂක කළමනාකාරිත්වයට මෙය විශාල බලපෑමකි. හොර භාණ්ඩ වටා ගෙතුණු නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට එරට පොලිසිය අසමත් වී ඇත.

එම හේතුවෙන් අප රට තුලද දුම්වැටි සිල්ලරට විකීනම තහනම් කරන්න තීරණයක් ගනී නම් බලධාරීන් විසින් ඒ පිළිබඳව හොඳින් අධ්‍යනය කොට එහි අන්තර්ගත සියලු හොඳ නරක සහ වගකීම් තේරුම් ගෙන, ලංකාවට ගැලපෙන වැඩ පිළිවෙලකට යොමු වන ලෙස අපි බලාපොරොත්තු වෙමු.

 මෙය ලෝකයේ සම්මත ක්‍රමවේද බව ඇතැමුන් පවසනු ඇත. නමුත්  අනුන්ට හරියන හැමදේම අපට හරියන්නේ නැත.  ලාංකීය ජනතාව සහ ඔවුන්ගේ ජීවන මට්ටම් සහ අපේක්ෂා අනුව රජයන් ඇතුළු සමාජයේ නියෝජිතයන් ක්‍රියා කල යුතුය. මෙම සියල්ල සැලකිල්ලට ගෙන බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගනිමු ඇති අපි විශ්වාස කරමු.

රංජිත් සෙල්වකුමාර් (විශ්‍රාමික බැංකුකරු සහා මූල්‍ය උපදේශක)