2024 ජනවාරි 29, පෙ.ව. 12:01
රටට, ජාතියට, ජනතාවට අවංකවම ආදරය කරන නායකයෝ මේ රටේ සිටීද යන්න පිළිබඳ සැකයක් පවතින බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නා හිමියෝ පවසනවා.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිහු පිරිසක් ඊයේ (28) මල්වතු විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළා.
මෙම සිවිල් ක්‍රියාකාරීහූ පිරිස මල්වතු නාහිමි හමුවේ අවධාරණය කළේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරීන් මර්දනය හා දඩයම් කිරීම සඳහා මේ වන විට රජය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන බැවින් මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ මැදිහත්වීම අවශ්‍ය බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනසක් අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් රටට, ජාතියට, ජනතාවට ආදරය කරන තැනැත්තෙකු ජනාධිපති විය යුතු බවත් ඔවුහු නාහිමි හමුවේ පැවසූවා.
මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් රටට නොව තම බඩට පමණක් ආදරය කරන්නන් බවත් මෙම 225 න් බහුතරයක් විවිධ වංචා දූෂණ හා සම්බන්ධ බවත් මෙම වංචා දූෂණ හා අපරාධ පෙන්වා දීම මෙන්ම ඊට එරෙහිව නීති මඟට යොමු වීම හේතුවෙන් තම ජීවිත පවා මේ වන විට අවදානම් තත්ත්වයක පවතින බව එම සිවිල් ක්රියාකාරීහු මහා නාහිමි හමුවේ තවදුරටත් පෙන්වා දුන්නා.
මෙහිදී සිවිල් ක්‍රියාකාරීන් හමුවේ අදහස් පල කළ මල්වතු මහා නාහිමි අවධාරණය කොට සිටියේ මේ වන විට සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් රටේ වෙනසක් පතා මෙන්ම වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබදව තමන් වහන්සේගේද ආශිර්වාදය හිමිවන බවයි .
නමුත් ඔවුන් සඳහන් කරන ආකාරයෙන් රටට ජනතාවට අවංකවම හිතැති දේශපාලඥයෝ හෝ පුද්ගලයෝ සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත්, මේ බහුතරයක් දේශපාලනඥයෝ බලයට පැමිණිමට පෙර පැවසූදේ බලයට පැමිණි පසු අමතක කරන බවත් රටට ආදරය කරන කෙනෙක් රටේ පාලනයට අවශ්ය බව රටේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වී ඇති බවත් උන්වහන්සේ පැවසූවා.
මෙහිදී සිවිල් ක්‍රියාකාරීහු නාහිමි හමුවේ සඳහන් කළේ එවැනි පුද්ගලයකු ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සහගතව වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කියා සිටියේ පැමිණ සිටින සිවිල් සංවිධාන කිසිදු හෝ දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට සම්බන්ධ නොමැති බවය.
“වර්තමානයේ රටේ පවතින වංචා දූෂණ හා දේශපාලඥයන්ගේ නොපනත්කම් හෙළිකිරීම හේතුවෙන් මේ වන විට රජය සිවිල් ක්‍රියාකාරීහු දඩයම් කිරීම ආරම්භ කොට තිබෙනවා. අද මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ 225 ම ප්‍රතික්ෂේප කරනවා. මහා නායක හිමි සඳහන් කළ ආකාරයෙන් රටට ආදරය කරන රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් අපි අතර ඉන්නවා. අපි අවශ්ය වෙලාවට ඔහු ඉදිරිපත් කරනවා. මල්වතු මහා නා හිමි සඳහන් කළ පරිදි රටට ආදරේ කරන නායකයෙක් ඉදිරිපත් කිරීමේ අභියෝගය අපි මේ සිවිල් ක්‍රියාකාරී සංවිධාන භාර ගන්නවා. අපි කිසිම දවසක තවත් දේශපාලන පක්ෂ සන්ධාන පිටිපස්සේ යන්නේ නෑ.
රටේ ජනතාව ඉල්ලන අවංක නායකයකු ඉදිරිපත් කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. ජනතාවට අපි කියන්නේ ඉදිරි මැතිවරණ වලදී නුවණැති තීරණ ගන්න කියලයි. මොන තර්ජන ආවත් මේ වංචා දූෂණ නැවැත්වීමේ සටන අපි ආපස්සට ගන්නේ නෑ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් වන ඉතාමත් රහසිගත වැදගත් ලේඛන 10 ක් මේ වන විට අප අතට පත්වෙලා තිබෙනවා. ඒවා සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. මේ වෙලාවේ නීතිපතිතුමා සම්බන්ධයෙන් පවා විවේචන ඇති වෙලා තියෙනවා ඇයි කෙහෙළිය ඇමතිතුමා පිළිබඳ නිසි පියවර ගන්නෙ නැත්තේ ඇයි කියලා. මේ වංචා දූෂණ නවත්වන්න ඉදිරි මැතිවරණවලදී සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි තරග කිරීමට බලාපොරොත්තු වෙනවා.”
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08