hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 24, පෙ.ව. 12:04



මෙරටදී පොල්තෙල් පිරිපහදු කරන්නන්ට යම් සහනයක් ලබාදීම සම්බන්ධව සාකච්ඡා කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී වරායේදී ගෙවන බදු මුදලට අමතරව, රට තුළදී පොල්තෙල් පිරිපහදු කිරීමෙන් පසුව ද වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පොල්තෙල් පිරිපහදු කර්මාන්තශාලා වැසීයාමේ අවදානමකට ලක්ව තිබෙන බවත්, මේ නිසා ඒවායෙහි සේවයේ නියුතු 15,000 කට පමණ රැකියා අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

මෙලෙස බදු මුදල් වැඩියෙන් අය කිරීම වෙළෙදපොළේ පොල්තෙල් මිල ඉහළ යාමට බලපා ඇතැයි ද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළා.

වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යාම සම්බන්ධව අප වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලංකාවේදී පොල්තෙල් පිරිපහදු කරන අයගේ කර්මාන්තශාලා වැසීයාමේ ගැටලු තත්ත්වයක් මේ වෙද්දී උද්ගතව ඇතැයි ද, ඊට හේතුව ඔවුන්ගෙන් පිරිපහදු කරන පොල්තෙල් සඳහා ද වැට් බද්දක් අය කිරීම බවත්, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කළයුතු බවය. එමෙන්ම, පොල්තෙල් මිල ඉහළ යාම තවත් සති දෙකක පමණ කාලයක් පවතින බව ද ඇමැතිවරයා සඳහන් කළා.

“පොල්තෙල් මිල ඉහළ දැමීමේ මාෆියාවක්’’ මැයෙන් දිනපතා පුවත්පත ඉකුත් 16 වැනිදා ප්‍රධාන පුවත ඔස්සේ කරන ලද අනාවරණය පිළිබඳ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පොල් සංවර්ධන අධිකාරියේ සභාපති රොෂාන් පෙරේරාගෙන් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී විමසීමක් කළා.

එහිදී සභාපතිවරයා ඇමැතිවරයාට කියා සිටියේ මෙරට පිරිපහදු කරන පොල්තෙල්වලට සහ දේශීය කර්මාන්තකරුවන් නිපදවන පොල්තෙල් සඳහා වැට් බදු නියමකර තිබීම නිසා පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙන බවය. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට දන්වන බව ද ඇමැතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: