hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 07, ප.ව. 12:00



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 19 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ඊයේ (06) සිදු වී තිබෙනවා.

ඒ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්.

පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න,

“අද දිනය ඓතිහාසික දිනයක්. පළමු නිල කොන්දොස්තරවරියන් වහයෙන් ඔබ සියලු දෙනාම ඉතිහාසයට එක්වී අවසන්. විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යතුමා අප මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

එතුමා ප්‍රවාහන ක්ෂේත්‍රය බාරගත් දින පටන් උත්සාහ කළේ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය ඇති කිරීමටයි.

ඒ වගේම කාන්තාවට ඇතිවන හිරිහැර සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ අමාත්‍යවරයෙක්. අද මේ පත්වීම් ලබාදීම එහි එක් ප්‍රථිපලයක්. ඒ වගේම එදාමෙදා තුර කාන්තා අයිතීන් වෙනුවෙන් කළ සටන්වල ප්‍රථිපලයක්.

ඉතිහාසයේ ඡන්ද බලයක්වත් නොමැතිව සිටි කාන්තාව, අද මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අපි සතුටු වියයුතුයි. සමාජයේ එක් එක් වෘත්තීන් ස්ත්‍රීකරණය වෙලා තිබුණා.

නමුත් මේ වනවිට ඒ සීමාවන් බිඳ දමමින් මේ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයක්ම කාන්තාවන්ට විවෘත වෙලා. කෙතරම් අභියෝග ආවත් මේ බාරගත් අභියෝගයට නොසැලී මුහුණ දෙනලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආකාරයෙන් කාන්තාවන් අභියෝගයන්ට මුහුණ දීමෙන් හොඳ රටක්, යහපත් සමාජයක් මෙන්ම කාන්තාවට වඩාත් හිතකාමී පරිසරයක් බිහිකිරීමට හැකිවේවි”

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සමන්මලී ගුණසිංහ මහත්මිය,

“ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට කොන්දොස්තරවරියන් වශයෙන් කාත්කාවන් බඳවාගැනීම සිදුකෙරෙන අද, සුවිශේෂි දවසක්. ලංගම ඉතිහාසයට නව පරිච්ඡේදයක්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැඩකරන්නට, ශ්‍රී ලංගම පවුලට අද නව සාමාජිකාවන් එක්වෙනවා. කාන්තාවන් වශයෙන් එය අපට මහත් ආඩම්බරයක්. සමාජයේ කාන්තාවට තිබූ සීමාවන් පසෙක ලා, මෙවැනි කටයුත්තකට කාන්තාවන්

තෝරාගැනීම වැදගත්. නව ආර්ථිකය තුළ කාන්තාවට සිදුකළ හැකි කාර්යභාරයය අතිවිශාලයි. අද අපේ ආර්ථිකය කාන්කාකරණය වී අවසන්. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය අතිවිශාලයි.

මේ ආකාරයෙන් වූ විධිමත් මට්ටමේ දායකත්වය හැරුණකොට, කාන්තාවගෙන් සිය ගෘහය මූලික කොටගත් සමස්ත සමාජයට සිදුවන සුවිශේෂී දායකත්වය ගැනත් අපි සලකා බැලිය යුතුයි. සැබවින්ම එය මිලකළ නොහැකි සේවයක්.

අද මේ නව පත්වීම් ලබන කාන්තාවන්ට සිය රැකිව තුළ විශාල වගකීම් රාශියක් පැවරෙනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය තුළ සිදුවන්නාවූ කාන්තා හිංසනය පිටුදැකීමට එයට එරෙහිවීමට මෙම නව පත්වීම් ලාභීන් ක්‍රියාත්මක වියයුතුයි.

මෙම අවස්ථාවට මාකුඹුර ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා, ප්‍රවීන රංගන ශිල්පී චමිලා පීරිස් මහත්මිය  ප්‍රමුඛ ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.