hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් 08, ප.ව. 3:25



සැලසුම් සහගත විදුලි කප්පාදුවක් කිසිසේත් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිඳුකරන ප්‍රකාශය අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසනවා.

ඊයේ (7) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවක් පෙන්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එහි ප්‍රධාන සිදුවීම් යටතේ නවවැනි කරුණ ලෙස දක්වා ඇත්තේ, විදුලිය ප්‍රමාණවත් ප්‍රමාණයට නිෂ්පාදනය නොවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් දිගින් දිගටම සිදු කිරීමට සිදු වූ බවයි.

බාල ගල්අඟුරු භාවිතය නිසා ජනන යන්ත්‍රවල මෙගාවොට් 150 අඩුවීම හේතුවෙන් ඊයේ දිනයේදී බෙලිඅත්ත, ගම්පහ සහ කොළඹ ඇතුළු ස්ථාන 45ක ස්විචයන් ක්‍රියා විරහිත කරමින් මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලිබල අමාත්‍යවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව නොමඟ යවන ප්‍රකාශ සිදු කළද, විදුලිබල මණ්ඩලයේ නිල වාර්තාව මගින්ම මෙම විදුලි කප්පාදුව පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය වී ඇති බව චානක මහතා මෙහිදී කියා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව මෙලෙස විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති අතර, එවැනි අවසරයක් ලබා නොගෙන සිදු කළ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික බව ඔහු පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් අදාළ අමාත්‍යවරයාට මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට සිරදඬුවම් පවා විඳීමට සිදුවිය හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: