hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 20, පෙ.ව. 11:13



රජයෙන් අදාල අනුග්‍රහය නොලැබෙන්නේ නම් අතීතයේ කළාක් මෙන් පන්දම් එළියෙන් මහනුවර දළදා පෙරහැර පැවැත් විය හැකි බව මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක මහතා පවසනවා.                                                                         

මහනුවර ඇසළ පෙරහර සමයේ ශ්‍රී දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාල සඳහා රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයකට ආසන්න ඇස්තමේන්තුගත විදුලි බිලක් විදුලි බල මණ්ඩලය මගින් ශ්‍රී දළදා මාලිගාව වෙත යොමු කිරීම පිළිබඳව ඊයේ (19) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව බස්නායක නිලමේවරයා ඉහත අදහස් පළ කළා.                         

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාථ දේවාල බස්නායක නිලමේවරයා මෙසේද සඳහන් කළා.

“ඉතාමත් අසාධාරණ ආකාරයෙන් විදුලිබිලක් දේවාල වලට එවා තිබෙනවා. මින් පෙර කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. දේවාලවලට මේ විදුලි බිල් ගෙවනවා තියා පෙරහර කරන්නත් ආදායමක් නෑ. අපි ඉතාමත් අමාරුවෙන් තමයි මේවා කරන්නේ. රාජ්‍ය අනුග්‍රහය නිසි පරිදි ලැබුනේ නැත්නම් ඉස්සර කලා වගේ පන්දම් එළියෙන් පෙරහැර පවත්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.”                               

මෙම සාකච්ඡාවෙන් පසු අදහස් පළ කළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මෙම එවා ඇති විදුලි බිල නැවත ඇස්තමේන්තු ගත කිරීමට විදුලි බල මණ්ඩලය එකඟ වූ බැවින් ගැටලුවක් පැන නොනගින බවයි.

මෙම සාකච්ඡාවේදී ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලද බවත් පෙරහැර පැවැත්වීම සඳහා පෙර පරිදිම විදුලිය ලැබෙන බවත් හෙතෙම පැවසුවා.                                                  

මෙහිදී අදහස් පළ කළ බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ශ්රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා කියා සිටියේ විදුලිබල මන්ඩලයේ ඇස්තමේන්තුව දළදා මාලිගාවට හෝ සිව් මහා දේවාල වලට අදාල නොවන බවයි.

“මේ ඇස්තමේන්තුවෙන් කියා සිටින්නේ පෙරහර නැරඹීම සඳහා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා විදුලිය ලබා දීමට වැය වන විදුලි බිලයි. ඒ බිල අපිට ගෙවන්න බෑ. අපි කොහොමටත් දේවාලවලට විදුලි බිලක් ගෙවනවා. ඒවා අපේ අතින් ගෙවන්නේ නෑ. මහජනතාව ලබාදෙන පඬුරු මුදල් මගින් තමයි ඒ බිල් ගෙවන්නේ. කෙසේ වෙතත් පෙරහර සඳහා අවශ්‍ය විදුලිය ලබා දීම රජයේ අනුග්‍රහය මත සිදුවන දෙයක්. වන්දනා ගමන් ආඥා පනත යටතේ ඒ පහසුකම සැලසීමට දිසාපතිතුමා පොරොන්දු වුණා. පෙර රජ සමයේ සිට පැවත එන සම්ප්‍රදායන් කාටවත් වෙනස් කරන්න බෑ. මේක අවසන් තීරණය නෙවෙයි. අවසන් සාකච්ඡාව තියෙන්නේ ජනාධිපතිතුමා සමඟයි. මේ සඳහා අවශ්ය සහන ජනාධිපතිතුමා ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මහනුවර ශ්රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා කියා සිටියේ කතරගම දේවාලය යනු ඉතා සුළු ඉඩ ප්‍රමාණයක පිහිටා ඇති පුණ්‍ය භූමියක් බැවින් එම පුණ්‍ය භූමියට මෙතරම් විදුලිබිලක් කිසිසේත් ගෙවීමට නොහැකි බවයි.

මෙය ඉතාමත් අසාධාරණ ක්‍රියාවලියක් බව සඳහන් කළ ඒ මහතා සඳහන් කළේ විදුලිය පිරිමහින විදුලි බල්බ භාවිතයෙන් මෙම බිල මීට වඩා විශාල වශයෙන් අඩු කරගත හැකි බවයි.

මහනුවර – කමල් සුරවීර