2023 පෙබරවාරි 04, පෙ.ව. 5:12
තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ ඉන්දුනීසියාවට පැන ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසුවා.
තලංගම, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මාලයේ නාන තටාකය තුළ පුද්ගල මළසිරුරක් ඇති බවට තලංගම පොලීසියට පෙරේදා (02) පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණා.
මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නම් 49 හැවිරිදි අයෙක්.
ඔහු මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසනවා.
ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කළා.
එම නිවස ඇතුළත කෙරුණු පරීක්ෂාවේදී එහි තිබී, රුධිරයට සමාන පැල්ලම් කිහිපයක්, භාවිත කරන ලද උපත් පාලන කොපුවක් සහ භාවිත නොකරන ලද උපත් පාලන කොපු දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.
එහිදී සොයාගත් බිල්පතක සඳහන්ව තිබී ඇත්තේ උපත් පාලන කොපු කළුබෝවිල රෝහල අසල ඖෂධ සැලකින් මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එම ඖෂධ සැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබුණා.
එහි සටහන්ව තිබී ඇත්තේ එම පුද්ගලයා පසුගිය 30වනදා පස්වරු 3.22ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති බවයි.
එමෙන්ම ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමග එම නිවසට සුදු පැහැති මෙම මෝටර් රථයෙන් ගොස් ඇති බව ද පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.
විමර්ශනවලදී පොලීසියට හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ මෝටර් රථය, ජංගම දුරකථනය හා ක්‍රෙඩ්ට් කාඩ් පත් කිහිපය ද අතුරුදන්වී ඇති බවයි.
ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි.
එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසනවා.
අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන මෝටර් රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.
ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙන්.
පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසුවා.
ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කළා.
ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා තිබෙනවා.
පසුව මෙම යුවළ මෝටර් රථය ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසයි.
ඒ අනුව ඔවුන් ඒ අසලින් බැස ඇති අතර එහිදී රුපියල් 15,000 ක මුදලක් එම රථයේ රියදුරුට ලබාදී තිබෙනවා.
ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බව පොලීසිය පැවසුවා.
පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවා, ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් වෙන්කර ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළා.
ඒ අනුව පොලීසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා ඉන්දුනීසියාව බලා ගොස් ඇති බවටයි.
මේ අතර අදාළ මෝටර් රථය පෙර සඳහන් කළ ගරාජය අසල තිබියදී පොලීසිය ඊයේ (03) අලුයම සොයාගෙන තිබුණා.
මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබුණ ද එය සිදුකිරීමට හැකිවී නොමැත.
ඒ ඔහුගේ සිරුර අධික ලෙස ඉදිමී තිබීම හේතුවෙන් ඥාතීන්ට හඳුනාගැනීමට නොහැකිවීම නිසා බව වාර්තා වෙනවා.
ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය එළඹෙන සඳුදා සිදුකරන බවත් මෘත දේහය අදාළ පුද්ගලයාගේම ද යන්න තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බවත් වාර්තා වෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06