hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 15, පෙ.ව. 1:25



වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණු වීම් සඳහා ලබාදෙන මෘත ශරීර මහරගම ප්‍රදේශයේ සුසාන භූමියකට ඉතා අක්‍රමවත් අයුරින් බැහැර කරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

වෛද්‍ය පීඨවල සිසුන්ගේ පුහුණුව සඳහා ඇතැම් පිරිස් සිය ඥාතීන්ගේ සිරුරු ලබාදෙන්නේ මහත් සද්භාවයෙන් වුවද එම සිරුරු මෙලෙස බැහැර කිරීම අනුමත කළ හැකිද යන්න ගැටලුවක්.

මහරගම බැරෝඩාවත්තේ පිහිටි ජොරානිස් පීරිස් කනත්ත වෙත මෙම මළසිරුරු ලොරියකින් රැගෙනවිත් ඉතා අනාරක්ෂිත අයුරින් අතහැර දමා යන බවයි වාර්තා වන්නේ.

සත්වයින්ගේ මළකුණු ලෙස මෙලෙස අනාරක්ෂිතව රැගෙන එන මෙම සිරුරු නිසි පරිදි මිහිදන් කිරීමක් හෝ සිදුවන්නේ නොමැති බව සඳහන්.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මෙම කටයුත්ත හේතුවෙන් ප්‍රදේශයේ පවතින්නේ දැඩි දුර්ගන්ධයක් වන අතර එමෙන්ම සුනඛයින් ඇතුළු සතුන් විසින් මෙම මළසිරුරු කොටස් අවුස්සා ඇති අයුරුද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට අදාළව නම සඳහන් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, මහාචාර්ය උපුල් සුබසිංහ මහතාගෙන් සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, වෛද්‍ය සිසුන්ගේ පුහුණවට යොදාගන්නා මළසිරුරු කොටස් භූමදාන කිරීම 1994 වසරේ සිටම ටෙන්ඩරයක් මගින් මහරගම පිහිටි මල් ශාලාවකට ලබා දෙන බවයි.

ඒ අනුව විශ්විද්‍යාලයේ සිට පොලිතීන්වලින් ආවරණය කර මල් ශාලාවේ සේවකයින් විසින් ගෙනයනු ලබන සිරුරු කොටස්, සුසාන භූමියේදී දිරායෑම පහසුවීම සඳහා පොලිතීන් ඉවත් කොට අඩි 10ක් පමණ ගැඹුරු වළක් තුළ භූමදානය කරන බව ඔහු සඳහන් කළා.

පසුව එම මළසිරුරු සහ ශරීර කොටස්වලට ඉහළින් පස් තට්ටුවක් අතුරන බව ඔහු පැවසුවා. 

ඔහු අවධාරණය කළේ මෙම සියලු ක්‍රියාවලිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ නිලධාරීන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකරන බවයි.

කෙසේවෙතත් එල්ල වූ චෝදනා මත සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ බව වැඩබලන උපකුලපතිවරයා සඳහන් කළා.

ඒ අනුව තාක්ෂණ නිලධාරීන් දෙදෙනාගෙන් කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිරුරු කොටස් භූමදානය කරන ආකාරය අසල සිටි කාන්තාවක් වීඩියෝගත කළ බවයි. 

එමෙන්ම සිය තාක්ෂණ නිලධාරීන් දෙදෙනා රාජකාරිය පැහැර හැර නොමැති බවත් වැඩබලන උපකුලපතිවරයා සඳහන් කරනවා.

එමෙන්ම වෛද්‍ය සිසුන් පුහුණුව සඳහා යොදාගන්නා මළසිරුරු කොටස් භූමදානය නොකර, ආදාහනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද වැඩබලන උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.