hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 29, ප.ව. 5:10



ඩිජිටල් තිර භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම නීතිවිරෝධි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ යම් දිස්ත්‍රික්කයක හෝ නගරයක එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසයි.

මැතිවරණ ප්‍රචාරණය සඳහා ඩිජිටල් තිර යොදා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවත් මින් පෙර මැතිවරණයකදී මෙවැනි ප්‍රචාරණ ක්‍රමවලට එරෙහිව අධිකරණ තීන්දු පවා ගෙන ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

 “ඔබගේ දිස්ත්‍රික්කයේ, ඔබගේ නගරයේ ඩිජිටල් තිරයක යම්කිසි ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකරනවා නම් කරුණාකරලා ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම්දෙන්න ඒ අනුව පොලීසිය කටයුතු කරයි. මේක සම්පූර්ණ නීතිවිරෝධී ක්‍රියාවක්. මේක බලහත්කාරයෙන් මිනිස්සුන්ට ප්‍රචාරක කටයුතු කිරීමක් කරන්නේ. මුදල් ගෙවා හෝ ප්‍රදර්ශනය කිරීම තහනම්. හේතුව ඒවා පොදු ස්ථානයක පොස්ටරයක් ප්‍රදර්ශනය කිරීම හා සමාන වෙනවා. ඒ නිසා එය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා  ඩිජිටල් තිර මත දැන්වීම් යැවීම සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවක්. මීට ඉහත මැතිවරණයකදී අධිකරණ තීන්දුත් අරගෙන තියෙනවා. අපි ඒ අනුව අධිකරණය යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”