hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 23, ප.ව. 4:53



“දළදා පෙරහරේ කතරගම දේවාල පෙරහරේ කරඬුව වැඩම කරන හස්තියා සමඟ වම් පසින් දෑලේ ගමන් ගත් අලියා පත්තිරුප්පුව ඉදිරිපිටට එනතෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැග දළදා වීදියට ප්‍රවිශ්ඨ වෙත්දී අලියා වැව අද්දර යකඩ වැටට එහායින් වාඩිවී පෙරහර නරඹමින් සිටි ජනතාව දෙසට හොඬය දාලා ඉව ඇල්ලුවා. ඒත් එක්කම එතන හිටිය ළමයෙක් පිඹිනවිට කොටසක් දිග ඇරෙන නළාවක් පිම්ඹා. ඒකේ ශබ්දයත් එක්කම නළාවේ ඉදිරි කොටස අලියගේ හොඬයේ වැදුණා. අලියා බය වෙලා පැත්තකට හැරෙද්දී එයාගේ ඔළුව කරඬුව වැඩම කළ අලියාගේ ඔළුවේ වැදුණා. ඒත් එක්කම කලබල වූ අලියා වීදිය දිගේ ඉදිරියට දිව ගියා” යැයි මහනුවර ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහරේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අලියාගේ හස්ති පාලක වන අශෝක චන්ද්‍රසිරි මහතා පැවසුවා.

මහනුවර පෙරහරේ ගමන් ගත්  අලි ඇතුන් පස් දෙනෙකු කලබලයට පත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හා යළි එවැනි සිදුවීමක් නොවන්නට ගත යුතු ක්රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද (23) දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහර සංවිධායක මණ්ඩලය හා ඇත් ගොව්වන් අතර දළදා මාලිගාවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අශෝක චන්ද්‍රසිරි මහතා මේ බව මාධ්‍ය හමුවේ සඳහන් කළා.

“දෙවන කුඹල් පෙරහරේ දී මුලින්ම කලබලයට පත්වුණේ ගල්මඩුල්ල පන්සලේ රත්න අලියායි. මේ  අලියා අවුරුදු  25 ක් පමණ පෙරහරේ ගමන් කරනවා. කලබලයක් නැති කිසිම කෙනෙකුට හානියක් නොකරන සතෙක් මෙයා. ඉකුත් කතරගම පෙරහරේ දෑල ගමන් ගත්තේත් මෙයා වැව අද්දර දිගේ ජනතාව ඉටි කොළ එලාගෙන යකඩ වැට ළඟින්ම ඉන්නවා. ඒ පැත්තේ කෙළවරේ යන අලි හොඬය ඒ දෙසට යොමු කරනවා. ඒ වෙලාවේ තමයි කුඩා ළමයා පිඹපු නළාවේ ඉදිරි කොටස හොඬ ඇඟිල්ලේ වැදුණේ. ඉදිරියට දිවගිය අලියා පිටේ සිටි දෙන්නා ගෙන් එක් කෙනෙක් මම බස්ස ගත්තා. අනෙක් කෙනා පහළට පැන්නා. කාටවත් මේ සිද්ධිය නිසා අනතුරක් වුණේ නැහැ. පෙරහර ආසන්නයේ ඉඳලා සමහරු නළා පිඹිනවා. තවත් අය ලේසර් කිරණ අල්ලනවා. ජංගම දුරකතන වල ෆෑලෑසර් එක අල්ලනවා. මේවා නිසා සමහර අලි කලබල වෙනවා. සමහර අලින්ට මේවා හුරුයි.”

දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා මෙසේ සඳහන් කළා.

“පෙරහර වීදී සංචාරය කරන අවස්ථාවේ ලොකු ශබ්ද කරන්න එපා කියලා  ජනතාවගෙන්  ඉල්ලා සිටිනවා. මහනුවර පෙරහරේ දී අලි කුලප්පුවක් සිදුවුණේ නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්.  එක අලියෙක් බය වෙලා දිව්ව නිසා තවත් අලි කිහිප දෙනෙක් කලබල වුණා. කලබල වූ අලි හතර දෙනෙක්  අල්ලලා බැඳ දැමුවා. එම අලි ඉවත් කරලා පෙරහර වීදී සංචාරය කළා. ඇත් ගොව්වන්ට හෝ ජනතාවට කිසිදු පහරදීමක් වෙලා නැහැ. කලබල වී නොසන්සුන් ලෙස හැසිරුණු  සියලු අලි ඇතුන්ට විවේකයක් ලබා දුන්නා. අපි පෙරහරට අලි ගේන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරලයි. පෙරහර ආවට පස්සෙත්  පරීක්ෂා කරනවා. මේ වගේ සිදුවීම් ඕන තරම් වෙනවා. ජනතාවට කලබල වෙන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. මෙතන අලි කුලප්පු වුණේ නෑ. කලබල වීම විතරයි වුණේ කියලා මම වගකීමෙන් කියනවා.”

මෙම අවස්ථාවට බස්නායක නිලමේවරු හා පෙරහර සංවිධායකවරු සහභාගි වූවා.