hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 19, පෙ.ව. 10:23



එළැඹෙන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්වීමට හැකි වන ලෙස පාසල් අධ්‍යයන කටයුතු. ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසුවා.

ඒ තුළින් විභාග කාලසටහන යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළා.

අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත්, අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (18) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසුවා.

මේ අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේද සහභාගි වුණා.

විද්‍යාපීඨ ගුරුවරුන් 7,800කට  එළැඹෙන ජුනි 15දා නව පත්වීම් ලබාදීමට සැලසුම් කොට ඇතැයි ඇමැතිවරයා පැවැසුවා.

එමඟින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්‍ෂේත්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලින් පිටවන වයස 35ට අඩු උපාධිධාරීන් ජාතික හා පළාත් මට්ටමින් පාසල් ගුරුවරු බඳවාගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවද හෙතෙම අවධාරණය කළා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී  ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්  කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඉන්දියානුවන් නිදහසේ පියා ලෙස හදුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස “මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව” ලෙසින් මේ ශිෂ්‍යත්වය නම් කර තිබෙනවා.