hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 03, පෙ.ව. 2:18



කලා වැවට අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයෙන් නිසි පරිදී ලබා නොදීමෙන් මහවැලි එච් කළාපයේ වගා බිම් අක්කර 25000 ක්  විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ පවසනවා.

එප්පාවල ඒකක කළමණාකරණ කාර්යාලයේදී මහවැලි එච් කළාපයේ ගොවි නියෝජිතයින් පැවත්ව සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසුවා.

මහවැලි එච් කළාපයේ ගල්නෑව, නොච්චියාගම, එප්පාවල, තලාව ආදී කොට්ඨාශ රැසක ගොවි සංවිධාන සභාපතිවරුන් ඇතුළු ගොවි නියෝජිතයින් මෙම සාකච්ජාවට සහභාගී වී සිටියා.

එහිදී මේ වන විට කළාවැව තුළ ගබඩා වී ඇති ජල ප්‍රමාණය පහළ ගොස් තිබීම හේතුවෙන් මහවැලි එච් කළාපයේ වගාවන් අනතුරට පත්වීමේ අවධානමක් පැවතීම සම්බන්ධයෙන් හා ඊට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබුවා.

කොත්මලේ ජලාශය තුළ 70%ක් ජලය රඳවාගෙන තබා ගෙන කළාවැවට අවශ්‍යය තරම් ජලය ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ගොවි නායකයින් පෙන්වා දුන්නා.

මෙම ගැටලුව විසඳුමට පළමු පියවර ලෙස හෙට (03) දිනයේදී අනුකමිටුවේදී මහවැලි නිළධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, ඊට විසඳුම් නොලැබුණහොත් උද්ඝෝෂණ සිදු කිරීමටත් ඔවුන් එහිදී සාකච්ජා කරනු ලැබුවා.

මහවැලි එච් කළාපයේ ව්‍යාපාර කමිටුවේ සාමාජික වයි.එච් දිසානායක මහතා,

“පවතින ජල ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා අපි මහවැලි එච් කළාපයේ ඉන්න ගොවි සංවිධාන වල සභාපතිවරුන් සමඟ සාකච්ජාවක් කළා, ඒ සාකච්ජාවේදී තීන්දු කර ගත්තා ඉදිරියේදී අපිට තව ජල මුර 04 ක් වත් අවශ්‍යය වෙනවා අපේ ගොයම් පැස්සවීම සඳහා.ඒ ඉල්ලීම කිරීමට අපි සියලු දෙනා යෝජනා කර ගත්තා.2023-07-10 වැනි දින පැවති ව්‍යාපාර කළමණාකරණ කමිටු රැස්වීමේදී ජල කළමණාකරණ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමා නිලන්ත ධනපාල මැතිතුමා අපිට ප්‍රකාශයක් කළා එදින වන විට කොත්මලේ ජලාශයේ 72% ක් ජලය තියෙනවා, ඒ නිසා එච් කළාපය පිළිබඳ කිසිම ගැටලුවක් නෑ කියලා ප්‍රතිඥාවක් දුන්නා.එදින වන විට කළාවැවේ ජල මට්ටම 42 000 යි, අද දින වන විට එය 26 900 ක් බවට පත් වෙලා තියෙනවා.අද වන විට ගොවීන් දැඩි අවධානමකට පත්ව සිටිනවා.කොත්මලේ ජලාශයේ ඔය සා විශාල ජල කඳක් තියෙනවා නම් ඒක ඇයි කළාවැවට දෙන්නේ නැත්තේ, කළාවැවට දිනකට කියුසෙක් 700-800 ත් 400-500 ත් වගේ ප්‍රමාණයක් ලබා දෙන්නේ, අද වන විට 70% ක් පමණ කොත්මලේ ජලාශයේ වතුර තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා.

ඒ තරම් ජලයක් තියෙද්දී මේ තරම් ඉතා අඩු ජල ප්‍රමාණයක් කලා වැවට ලබා දෙන්නේ ඇයි කියන ගැටලුවයි අපිට තියෙන්නේ.ඒ නිසා අපි ගොවි නායකයෝ ලෙස සියලු ගොවීන් අපෙන් ප්‍රශ්න කරනවා.අද වන විට ගොයම කහ ගැහෙමින් තියෙන්නේ.ගොයම පෑස්සවීමට තව වතුර මුර 04 ක් වත් අවශ්‍යය වෙනවා.මේ ලබා දෙන වතුර ප්‍රමාණය බෙදිලා ගියහම මහවැලි එච් කළාපයේ ගොවීන්ට ලැබෙන්නේ බොහෝම සොච්චම් වතුර ප්‍රමාණයක්.ඒ නිසා අපිට දැන් ඉඟි පහළ වෙනවා මේ කන්නයේ ගොවියාගේ ගොවිතැනට අවධානමක් තියෙනවා කියලා.ගෝඨාභය මහත්තයාට ගොවියාගේ පොහොර ටිකට ගහලා ගෙදර යන්න සිද්ධ වුණා.ඒ නිසා වත්මන් ජනාධිපතිතුමන්ටත් කියන්නේ ගොවියාගේ වතුර ටික නැති කරමින්, වතුර ටික ජල විදුලිය සඳහා උපයෝගී කර ගනිමින්  ගොවියාගේ බඩට ගහන්න සූදානම් වන බව සියලුම ගොවිමහතුන් අවධාරණය කර ගෙන තිබෙනවා.ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා විදිහට ගොවියා ගැන මීට වඩා අවධානය යොමු කරලා, අපේ සාගිනි නිවීම සඳහා නියමිත පරිදී කෙතට ජලය ලබා දීලා මේ කන්නය සාර්ථක කර ගන්නට අවස්ථාව ලබා දුන්නොත් ඉතාමත් වැදගත් වෙනවා.” යැයි පැවසුවා.