hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 07, ප.ව. 6:39



මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර කටුගස්තොට ප්‍රධාන පෙළේ බාලක පාසලක සිසුවෙකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලු වලින් දරුණු ආකාරයෙන් පහරදීම නිසා තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් අදාළ සිසුවාට ඊයේ(06) දින ලබාදුන් ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාවද මඟහැරී තිබෙනවා.

ගණිතය පළමු ප්රශ්න පත්රයට පිළිතුරු ලියා අදාළ සිසුවා විදුහලේ ආපනශාලාව වෙත තවත් සිසු පිරිසක් සමඟ ගොස් තිබෙනවා.

දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට යමින් සිටියදී එම සිසුවාගේම පන්තියේ සිසුන් පිරිසක් තොට විභාගේ ලියන්න දෙන්නේ නැතැයි පවසා අදාළ පහරදීම සිදුකර තිබෙන බව වාර්තා වෙනවා.

පහර කෑමට ලක්වූ සිසුවා අධ්‍යාපන කටයුතු සඳහා දක්ෂ අයෙකු බව දැන ගන්නට තිබෙනවා.

සිසුවාට පහර දුන් සිසු පිරිස කිසියම් අධ්යාපනික හේතුවක් මත ඔහු සමග අමනාපයෙන් සිටි බවද සඳහන් වෙනවා.

තුවාල ලද සිසුවා මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන බැවින් මෙම සිසුවාට පාසල වෙත ගොස් විභාගයේ ඉදිරි විෂයන් සඳහා පෙනී සිටීමට අපහසු වේ නම් ඔහුට රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා තම අවසරය ලබා දුන් බවයි.                                                                

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා.