hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 21, පෙ.ව. 10:00



ත්‍රිකෝනමඩු රක්ෂිතය ආශ්‍රිතව ප්‍රේරණ කලාපය තුළ ඇති වනාන්තර වල අක්කර 50ක පමණ ප්‍රදේශයක් ගිනි තබා ඇති බවට මේ වනවිට මාධ්‍ය මගින් මෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රයට අදාල නිලධාරින් විසින් කරන ලද නිරික්ෂණයන්ගෙන්ද සනාථ වී  තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙක් කියා සිටියා.

මෙහිදී විශේෂයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මේ ප්‍රදේශයේ සිදුවන වන විනාශය සම්බන්ධව මේ වන විට අධිකරණයට නඩුවක් ඉදිරිපත් කොට ඇති බවත් ඒ නඩුව සම්බන්ධව කරුණු සහ නඩුව සම්බන්ධ පියවර තවදුරටත් අධිකරණය හරහා ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙම වනාන්තර පද්ධතියට ගිනි තැබීම අධිකරණයට මෙන්ම අපේ රටේ වනාන්තර පද්ධතියටත් ජනතාවගේ අයිතිවාසිකම් වලටත් සතාසීපාවාගේ අයිතිවාසිකම් වලටත් විශේෂයෙන් ප්‍රදේශවාසි ජනතාවගේ අයිතිවාසිකම් වලටත් අනාගත පරම්පරාවේ අයිතිවාසිකම් වලටත් එරෙහිව කරන ලද අපරාධයක් ලෙස සහ අනීතික ක්‍රියාවක් ලෙස බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙනවා. 

මෙම ප්‍රදේශයේ කරන ලද නිරීක්ෂණ අනුව ප්‍රදේශය පාලනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බව අනාවරණය වෙනවා. ඒ අනුව රජයේ වෙනත් ඉඩම් එසේත් නැත්නම්  වෙනත් වනාන්තර තමයි මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ. ඒවා වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තියෙන් ආරක්ෂා කරනු ලැබූ වනාන්තර. ඒවා තාවකාලික හෝ වගා කටයුතු සඳහා වෙනත් අයට භාරදී තිබුණත් ඒ තාවකාලික භාරදීමක් මගින් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තියේ  ඇති ආරක්ෂණය ඉවත් වන්නේ නැති බව පෙන්වා දිය යුතුයි .ඒවට ඒ තාවකාලික භාරකරුවන් හැටියට ඒවා බාර ගත් යම් කිසි ආයතනයක් ඇත්නම් ඒ ආයතනත් දෙපාර්තමේන්තු සංස්ථා හෝ මණ්ඩල එම වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් බැඳී  තිබෙනවා.

 ඒ අනුව ඒ බාරගත් සියලු ආයතන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් වෙනත් රජයේ වනාන්තර වලට ලබාදී ඇති සියලු ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සහතික කළ යුතුයි. මේ අවස්ථාවේදීම එම ආයතන එම ආරක්ෂාව ලබාදීමට අපොහොසත් වී ඇති බව පෙනෙන්නට  ඇත. මේ විතරක් නොව තොරතුරු ලැබී ඇති ආකාරයට මේ  ප්‍රදේශවල වනාන්තරවලට ඇතුල් වෙන්න ඉඩ  දී මේ වනාන්තර ගිනි තබා ගැනීමටත්, ඉඩ පහසුකම් සැලසිලා තිබේ. මෙය බරපතල වරදක්. වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ කරන ලද වරදකට අමතරව විශේෂයෙන්  ජාතික පාරිසරික පනත යටතේ වනාන්තර හෙක්ටෙයාරයකට වඩා  යම්කිසි කෙනෙක් එලි කරනවානම් , පරිසර බලපෑම් තක්සේරුවක් (EIA) සිදු කල යුතු ක්‍රියාවක් වේ.

එවැනි තත්වයක් පවා ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන තිබියදි විශාල වනාන්තර අක්කර ප්‍රමාණයක් ගිනි  තැබීම විශේෂයෙන්ම ජාතික පාරිසරික පනත යටතේත් වරදක් ලෙස සලකනු ලැබේ. මෙවැනි වැරදි සඳහා පොලිසියටත් ක්‍රියාමාර්ග ගැනීමට වන සංරක්ෂණ ආඥා පනත යටතේ බලතල තිබේ.මෙවැනි  විශාල වැරදි ගණනාවක් සිදු කර තිබේ. විශාල අගතීන් ගණනාවක් මෙම ප්‍රදේශයේ සිදුවෙමින් පවතින බැවින් වහාම පොලීසිය සහ වනජීවි දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත් වීමක් අවශ්‍ය බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.එමෙන්ම මෙම නීති විරෝධි ක්‍රියාවන් සදහා සම්බන්ධ අය වහාම අධිකරණයට ඉදිරිපත් කරකරන ලෙස ද එම සංවිධාන ඉල්ලා සිටී. මේ සම්බන්ධව පරිසර යුක්ති කේන්ද්‍රය ලෙස අප ඉල්ලා සිටින්නේ  පොලිසියට සහ විශේෂ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගෙන වගකිව යුත්තන් අධිකරණයට ඉදිරිපත් කරන්න ලෙසය.

හික්කඩුව – බුද්ධික වීරසිංහ